විල්පත්තුවේ ගස් කැපූ හමුදාවේ 15ක් අත්අඩංගුවේ

විල්පත්තු රක්ෂිත වනයේ අනවසරයෙන් දැව කපා ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදාවේ පහළොස් දෙනෙකු මන්නාරම සිලාවතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.සී.ඇලෙක්ස් රාජා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් පණස් දහස බැගින් ශරීර ඇප මත නිදහස් කෙරුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ යුද හමුදාවේ පිරිස මෙම දැව කැපීම සිදු කළේ කුමන අරමුණක් මතද යන්න පිළිබදව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

සිලාවතුර පොලීසිය මගින් යුද හමුදා ට්‍රක් රථයක් ද අත් අඩංගුවට ගෙන තිබේ.

ධීවර ගැටුම

මේ අතර ඉන්දීය ධීවරයින් අට දෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගැනීම සහ ඔවුන්ට වධ හිංසා කොට පහර දීම යන චෝදනා යටතේ මුලතිවු ධීවරයින් පිරිසක් මුලතිවු පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.

මෙම ඉන්දීය ධීවරයින් අල්ලා ගෙන තිබුණේ මුලතිවු ධීවරයෙකුට අයත් බෝට්ටුවකට මුහුද මැදදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් මතයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට අනුබල දුන් තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි.