ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අනාථයන්ට ආණ්ඩුවෙන් නිවාස හැට පන්දහසක්

යුද්ධය නිසා මේ දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වී සිටින ජනතාව මාස හයක් ඇතුළත යළි පදිංචි කළ යුතු බවට ජනාධිපතිවරයා තම අමාත්‍යංශය වෙත නියෝග කොට ඇති බව පුනරුත්තාපන සහ නැවත පදිංචි කිරීම භාර රාජ්‍ය අමාත්‍ය එම්ඒඑල්එම් හිස්බුල්ලා පවසයි.

අද බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම නියෝගයට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද්ධය නිසා අවතැන්වූවන් යළි පදිංචි කිරීම සඳහා ඉදිරි වසර 3 ඇතුළත නිවාස 65,000 ක් ඉදිකිරීමටද ආණ්ඩුව තීන්දු කොට ඇති බවයි.

"ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වාර්තා අනුව මේ අවතැන්වූවන්ට අපි ගෙවල් එක් ලක්ෂ තිස් පන්දහසක් හදන්න අවශ්‍යයි. ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපදෙස් දුන්නා පළමු පියවර ලෙස ඉදිරි වසර 3 ඇතුළත නිවාස හැට පන්දහසක් හදන්න "

ඉහත කී නිවාස ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වැය වනු අතැයි ගණන් බලා තිබෙන බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එක් නිවාසයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 8 ක් හා 10 ක් අතර මුදලක් වැය වනු ඇති බවයි කියා සිටියේ.

"වර්ග අඩි 550ක පමණ සියලු පහසුකම් සහිත ගෙයක් අපි ලබා දෙනවා. අපිට මාර්තු මාසේ වෙන කොට ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න පුළුවන්"

'මිලියන 500ක්'

සෙසු නිවාස ඉදිරි කිරීමට සහ එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ආධාර සමුළුවක් කැඳවීමට අදහස් කරන බවත් හිස්බුල්ලා රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී බීබීසීය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඉහත කී නිවාස ඉදිකිරීමට අවුරුදු 3ක් ගත වන්නේ නම් ජනාධිපතිවරයා පවසන පරිදි අවතැන්වුවන් මාස හයක් ඇතුළත පදිංචි කර අවසන් කරන්නේ කෙසේද යන්නයි.

"නැහැ, දැනට අනාථ කඳවුරුවල හෝ නිවසක් නොමැතිව ඥාතීන්ගේ නිවාස වල රැඳී සිටින පිරිස් වෙත මාස හයක් ඇතුළත රුපියල් 50,000 ක් හෝ තාවකාලික කුඩාරම් ලබා දීලා ඒ අය ගම්වල පදිංචි කරන්න කියලා ජනාධිපතිතුමා අපිට දන්වලා තිබෙනවා. මාස හයකට පසු අවතැන්වූවන් ඉන්න බැහැ, ඒක තමයි ජනාධිපතිතුමා අපට ලබා දීලා තිබෙන ඉලක්කය. ඉන් පස්සේ දැනට නැවත පදිංචි කරලා ඉන්න අයටත් ගෙවල් නැහැ පහසුකම් නැහැ. ඒ අයට තමයි ගෙවල් හදන්නේ"

ඉහත කී නිවාස ඉදි කොට නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමේදී විල්පත්තු රක්ෂිතයේ සිදු වූ බව කියන වන විනාශය වැනි මතභේදාත්මක වාතාවරණයක් ඇති වීම වළක්වා ගන්නේ කෙසේදැයි එහිදී විමසා සිටියේය.

"ජනාධිපතිතුමා අපිට කියල තියනවා පරිසරයට හානි වෙන ආකාරයේ කිසිම ඉදිකිරීමක් කරන්න එපා කියල. විල්පත්තුව ගැන වාර්තාවක් ඉදිරියේදී ජනාධිපතිතුමා වෙත ලැබෙන්න නියමිතයි. වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි. ජනාධිපතිතුමා ඉදිරියේදී එම ප්‍රදේශ වල සංචාරය කරන්න නියමිතයි"