පාකිස්තාන ප්‍රහාරක යානා: 'තවම තීරණයක් නෑ'

Image copyright Getty
Image caption ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය

ශ්‍රී ලංකාවට ප්‍රහාරක ජෙට් යානා විකිණීම පිළිබඳව පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබී තිබෙන නමුත් ඒ පිළිබඳව තවම අවසන් තීරණයකට එළඹී නැති බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි බීබීසී සංදේශය කළ විමසීමකදී තහවුරු කළේය.

ඔහු ඒ බව කියා සිටියේ පාකිස්තානයෙන් JF-17 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව සැරසෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ.

Image copyright b
Image caption 'එක පාර්ශවයකින් පමණක් මෙවැනි යෝජනා භාරගන්න කැමති නැති නිසා රජය තීන්දු කරලා තියෙනවා ඉදිරියේදී මේ සඳහා අපි කියනවා 'Expression of interest' ඒ කියන්නේ ලෝකේ රටවලින් අපි කැඳවනවා ඒ අයගේ කැමැත්ත'

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය ඇතුලත එම ගිවිසුමටද අත්සන් තැබෙනු ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

"පාකිස්තානය කලින් ඉල්ලීමක් කරලා තියෙනවා නමුත් අපිට ඒ ඉල්ලීම අනුව කටයුතු කරන්න බෑ," ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"අපි එක පාර්ශවයකින් පමණක් මෙවැනි යෝජනා භාරගන්න කැමති නැති නිසා රජය තීන්දු කරලා තියෙනවා ඉදිරියේදී මේ සඳහා අපි කියනවා 'Expression of interest' ඒ කියන්නේ ලෝකේ රටවලින් අපි කැඳවනවා ඒ අයගේ කැමැත්ත."

එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කොට වසර හයක් ගතවී තිබියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතෙන් ප්‍රහාරක යානා අවශ්‍ය මන්දැයි සංදේශය කළ විමසීමට කිසියම් රටකට ආරක්ෂක තර්ජනයක් මතුවන්නේ කුමන අවස්ථාවේද යන්න පිළිබඳව අනාවැකි කිව නොහැකි බැවින් සෑම අවස්ථාවකම ආරක්ෂක හමුදා සූදානමින් තැබීම රාජ්‍යයක වගකීම බවයි.

ප්‍රහාරක යානා කොපමණ ප්‍රමාණයක් මිලදී ගන්නේද යන්න හෙලිකිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

"මේවා ඇත්ත වශයෙන්ම රහස්. නමුත් ඒ රහස අපි කරන්නේ බොහොම විනිවිදභාවයකින් යුතුව අභ්‍යන්තරයෙන්," ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර