ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී පදවි ප්‍රාප්තිය: 'ජාතීන් අතර සමහිය ඇති කළා'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධූරයට පත්වීමෙන් වසරක් සපිරෙන අද ඔහුගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ රාජ්‍ය පාලනයට ද වසරක් සම්පූර්ණ වෙයි.

මැතිවරණයට පෙර සහ පසු ඔවුන් දෙන ලද ප්‍රතිඥා ඉටු කර ඇත්ද? ජනතාවට අත්වූ සහන කවරේද?

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය පවසන්නේ අගය කළ හැකි වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට වත්මන් රජය සමත්වී ඇති බවයි.

අපකීර්තිය

ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්ව තිබුණු රට ඒ තත්වයෙන් නිදහස් කරගැනීමට සමත්වීම තවත් වැදගත් කාර්යක් බවයි ඔහු පවසන්නේ.

රටේ සියලු ජාතීන්ගේ අයිතීන් තහවුරු කොට සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කිරීමට පියවර ගෙන තිබීමත් පැසසුමට ලක් විය යුතු බව මහාචාර්ය සරත් විජේසුරිය සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවාලීමටත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවාලීමත් ඉකුත් වසර තුළ අත්කරගත් ජයග්‍රහණයන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දූෂණ හා අපරාධ

නමුත් ජනාධිපතිවරණයේ දී ජනතාවට ප්‍රකාශ කළ පරිදි දූෂණ හා අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් යම් යම් ක්‍රියා මාර්ග ගෙන තිබෙන නමුත් ඒ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

පොලීසියට නිදහසේ රාජකාරී කිරීමට අවස්ථාව ලබා දී ඇතත් නිසි පරිදි ඔවුන්ගේ සේවය ඉටුවන බවක් පෙනෙන්ට නැති බවත් ඔහු පෙන්වා දෙන්නේය.

පොලිස් සේවයේත් කලින් තිබුනාට වඩා සාධනීය බවක් දක්නට ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු පවසයි.

ජීවන මිල අඩු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව දුෂ්කර ආර්ථික මාවතක ගමන් කරන බවද මතක් කරමින්.