හිටපු සභාපති ගැන පැමිණිල්ල 'විභාග කරන්න'

Image copyright Twitter
Image caption '2010 මැතිවරණයේදී රාජ්‍ය රූපවාහිනිය ජනාධිපති මහින්දට පක්ෂව කටයුතු කළා'

2010 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සේවකයින් පිරිසකට පහර දී ඔවුන්ගේ රැකියා අහිමි කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අධිකරණය පොලිසියට නියෝග කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනෙකුට එරෙහිවයි, එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ.

අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී එහි සැකකරුවන් ලෙස නම් කර තිබෙන මහාචාර්ය ආරියරත්න ඇතුගල, හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ සහ තවත් පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

රැකියාවෙන් දොට්ට

පැමිණිලිකරුවන් පවසන්නේ මැතිවරණ කාලවලදී රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කරන උපමාන වලට අනුකුලව කටයුතු කළ යුතු බවට නියෝග දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇති බවයි.

Image caption ජනරාල් සරත් ෆොන්සේකා, 2010 මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් තරඟ කළේය

එහෙත් 2010 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත් ඊට එරෙහිව තමන් සටන් කළ බවත් පැමිණිලිකරවෝ පවසති.

මේ හේතුවෙන් ප්‍රතිඵල නිකුත් වී දිනක් ගත වන්නට මත්තෙන් තමන්ට පහර දී රැකියාවද අහිමි කළ බව පැවසූ පැමිණිල්ල ඉදිරිපත් කළ ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හර්බට් කුමාර අලගියවන්න සැකකරුවන් පිරිස එයට වගකිව යුතු බව ප්‍රකාශ කළේය.

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා 2010 මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් තරඟ කළේය.

2010 වසරේ සිදු කළ මෙම පැමිණිල්ල පිළිබඳව පොලිසිය නිසි පරීක්ෂණයක් නොකළ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වා මැයි මස 13 වනදා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.