ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අඩු වයස් ස්ත්‍රී දූෂණ 80%ක් කැමැත්තෙන්

තිසර අරවින්ද රතුවිතාන

බීබීසී

ඉගෙනීමට පමණක් යොමු කිරීම තුළින් හුදෙකලා වන දරුවා සයිබර් අවකාශයට යොමු වීම නිසා ලිංගික වශයෙන් අපයෝජනයට ලක් වීමේ අවදානමට ගොදුරු වන බව සමාජ විශේෂඥයෝ පවසති.

2015 වසරේ වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණවලින් සියයට 80ක් වයස අවුරුදු 18ට අඩු දැරියන් ගොදුරු වූ අවස්ථා බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අතරිනුත් සියයට 80ක් තම කැමැත්තෙන් ඊට එකඟ වූ අවස්ථා බවට වාර්තා වීම විශේෂත්වයකි.

Image copyright PA

පාසල් දරු දැරියන් ජංගම දුරකථන ආදී මෙවලම් හරහා අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරන හෙයින් මෙම අවදානමට ගොදුරු වන අවස්ථා වැඩි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරල පවසන්නේ.

‘පවුල කියන ඒකකය තමයි සමාජ සම්බන්ධතා පවත්වන ප්‍රධානතම ඒකකය. දූ දරු - මාපිය සන්නිවේදනය අත්‍යවශ්‍යයි. අපි අධ්‍යාපනයට පමණක් දරුවා තල්ලු කරනවා. මෙතනදී ඇති වන හිදැස පුරවා ගැනීමට දරුවා සයිබර් අවකාශයට යනවා. එතනදී ඇතිවන උද්දීපනය දරුවා ලිංගික අවදානමකට ලක් කරනවා.’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

පාසල් අධ්‍යාපනය තුළ සහ ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ලිංගික අධ්‍යාපනය ‘යට ගැසීම’ නිසා මේ තත්වයට බාලවයස්කාර දරුවන් ගොදුරු වීමේ ප්‍රවනතාවය ඉදිරියේ දී සමාජ ප්‍රශ්නයක් බවට පත් විය හැකි බවට මහාචාර්යවරයා අනතුරු අඟවයි.

Image copyright istock

‘ලංකාවේ සංස්කෘතිය තුළ ලිංගික අධ්‍යාපනය හා ලිංගිකත්වය කියන දේ මහ විශාල රහසක් ලෙස තවමත් පැදුර යට හංගපු දෙයක් විදියට භාවිතා වෙන්නේ. මේක තමයි ප්‍රධානතම ප්‍රශ්නය වෙලා තියෙන්නේ.’

‘හයේ හෝ හතේ පන්තියේ දී ප්‍රජනන සෞඛ්‍යය උගන්වනවා. සමහර ගුරුවරියන් ඒ පාඩම මග හරිනවා. ඇතැම් විට පිරිමි ළමුන්ට උගන්වන්න වෙනම ගුරුවරයෙක් එනවා. විෂයයක් හැටියට ළමයින්ට උගන්වන්න බැරි තරමට ඒ සංස්කෘතික සාධකය බලපා තියෙනවා. අනික් පැත්තෙන් මේ විෂය පිළිබඳව භික්ෂූන් වහන්සේලා මැදිහත් වීම් කරනවා. මේ තත්වය නිසා දරුවාගේ නොදැනුවත් කම තුළ සයිබර් අවකාශයෙන් ඇතිවන උද්දීපනය පරීක්ෂාවට ලක් කිරීමට යෑමෙන් දරුවා අනතුරට පත් වෙනවා.’ මහාචාර්ය කරුණාතිස්ස අතුකෝරල පැවසීය.

Image copyright THINKSTOCK

පොලිස් වාර්තා සඳහන් කරන ආකාරයට 2015 වසරේදී වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1854කි.

ඒ අතරින් 1500 ක් පමණ බාල වයස්කාර දැරියන් දූෂණය වූ අවස්ථා බවයි සංඛ්‍යා ලේඛන දක්වන්නේ.

ග්‍රාමීය වශයෙන් ගත කළ බොහෝ පවුල්වල මව රැකියාවක් සඳහා විදෙස් ගත වී සිටියදී පියා මත් පැනට ඇබ්බැහි වී සිටීම නිසා බොහෝ දරුවන් අනාරක්‍ෂිත වී ඇති බව ඔහු ගේ මතයයි.