විරෝධතා 'තහනම්': ගැබිනි බිරිඳට අධිකරණ නියෝගයක්

අධිකරණ නියෝග ලබා ගනිමින් පොලිසිය මහජනයා පීඩනයට ලක් කරන බව ඇඹිලිපිටියේදී සාදයකට එක්ව සිටි පිරිසක් සහ පොලිසිය අතර වූ ගැටුමකින් මරුමුවට පත් තරුණයාගේ ඥාතීහූ පවසති.

විසි හැවිරිදි එක් දරු පියකු වන මරුමුවට පත් සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අවසන් කටයුතු අද ඉරිදා සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ සිරුර රැගෙන ඇඹිලිපිටිය පොලිසිය ඉදිරිපිට විරෝධතා නොපවත්වන මෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇති බවයි මරුමුවට පත් සුමිත් ප්‍රසන්නගේ ඥාතීන් කියා සිටියේ.

සුමිත් ප්‍රසන්නගේ ගැබිනි බිරිඳ නමට එවා ඇති එම නියෝගය කඩ කළහොත් දඩුවම් විඳීමට සිදු වන බව අධිකරණ නියෝගයේ සඳහන්ව ඇතැයි ඇයගේ මව අජන්තා කාන්ති පවසන්නීය.

ඉහත කී සිදුවීම නිසා පොලිසිය කෙරෙහි මහජනතාව තුළ තිබූ විශ්වාසය බිඳී ඇති බව අවමගුල් නිවසට පැමිණ සිටි රාවනා බලකායේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සඳහන් කළහ.

මරුමුවට පත් සුමිත් ප්‍රසන්නට සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලමින් අවමගුල් නිවසේදී පෙත්සමකට අත්සන් ලබා ගැනුණු අතර අවමංගල්‍යයට පැමිණි පිරිස් ඊට අත්සන් තැබූහ.

මේ අතර ඇඹිලිපිටිය නගරයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට විශාල පොලිස් බල ඇණි විවිධ ප්‍රදේශවලින් ගෙන්වා තිබිණි.

නගරයේ කඩ සාප්පු සහ වීදි සුදු කොඩිවලින් සරසා තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සන්නද්ධ භට පිරිස් නගරයේ සැරිසරනු දක්නට ලැබිණ.

සවස්වරුවේ නගරයේ තැබෑරුම් සියල්ල වසා දමා තිබූ අතර අවන්හල් තුළ මත්පැන් අලෙවිය නවතා දමා තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර