දෙමළ ජනතාවට පෙර මඟ සුබ ලකුණක් - නිදහස ලැබූ ජෙනීවන්

Image copyright Maithripala Sirisena

ජනපති මෛත්‍රීපාල සිරිසේන තමාට සමාව දී නිදහස් කිරීමට ගත් තීන්දුව නව රජය පිළිබඳ දෙමළ ජනතාවට යම් සාධනීය විශ්වාසයක් තැබිය හැකි සුබ ලකුණක් බව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ එල්ටීටීඊ සැකකරුවකු වූ සිවරාජා ජෙනීවන් පවසයි.

නිදහස ලැබීමෙන් පසු සිය උපන් ගම වන යාපනයේ අච්චුවේලි වෙත පැමිණි සිවරාජා ජෙනීවන් තවදුරටත් කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙන මෙන් සමස්ත ලෝකයා තරයේ ඉල්ලා සිටින මොහොතක තමන්ට නිදහස ලබා දීමට ගත් තීන්දුව පිළිබඳ දෙමළ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.

එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි ජනපතිවරයා ඝාතනය කිරීමට ජෙනීවන් තුළ යම් සැලසුමක් හෝ උත්සාහයක් තිබුණේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ මේ අවස්ථාවේදී එම සිද්ධිය විස්තර කිරීමට යෑම හරහා ඊට සමාජයෙන් වැරදි අර්ථ කථනයක් ඉදිරිපත් විය හැකි බවයි.

'සාර්ථක අනාගතයක්'

එසේ කිසිවකු වැරදි අර්ථකතනයක් ලබා දුනහොත් ජනාධිපතිවරයා විසින් ඉතා උසස් ලෙස සලකා තමන්ට ලබා දුන් සමාව අවඥාවට ලක් විය හැකි අතර එසේ සිදු වනු දැකීමට තමන් අකමැති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සමාව දීමත් සමගම තමන් ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.

එකමුතුව වැඩ කළහොත් ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට හැකි පරිසරයක් උදා වන බව දෙමළ ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඔහු පැවසීය.

දෙමළ ජනතාව නියෝජනය කරන බහුතරයක් පක්ෂ නව ආණ්ඩුව බිහි කර ගැනීමට දායකත්වය ලබා දුන් බැවින් දෙමළ ජනතාවගේ ගැට‍ළු කෙරෙහි පෙරට වඩා ඉතා සාධාරණව විමසා බලන පරිසරයක් ගොඩ නැගී ඇතැයිද ඔහු පැවසීය.

යාපනයට පැමිණි ජෙනීවන් පසුගිය නොවැම්බර් මස විසිහයවෙනිදා යාපනයේ කොකුවිල් පළාතේදී දුම්රියකට පැන සිය දිවි හානි කර ගත් රාජේස්වරන් සෙන්දූරන් නැමති පාසල් ශිෂ්‍යයාගේ නිවසටද ගොස් තිබුණි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඉහත කී ශිෂ්‍යයා සිය දිවි හානි කර ගත්තේ නම් ඔහු දෙමළ ජනතාව අතර අමරණීය පුද්ගලයෙකු විය යුතු බව පවසා ඇති සිවරාජා ජෙනීවන්, සමාජය සිරකරුවන් දෙස ඉතා මානුෂීය හැඟීමෙන් යුතුව බැලිය යුතු බව පවසා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර