සිරියාව: හාමතෙන් පෙලෙන මදායා නගරයට ආධාර

Image caption ඇතැම් නගරවාසීන් හාමතේ මියගිය බව වාර්තා වන අතර, තවත් සමහරුන් බඩගින්නට තණකොළ බුදින බවත් පැවසේ

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ පොරෝනා රැගත් රථ පෙළක් ගැටුම්වලට මැදි වී සිටින සිරියාවේ මදායා නගරයට ලඟා විය.

ආණ්ඩුව විසින් සැපයුම් කපා හැරීම හේතුවෙන් 40,000 කට ආසන්න ජනකායක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී සිටින මදායා නගරයට එම ආධාර පිටත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රතු කුරුස සංවිධානය විසින්.

ඇතැම් නගරවාසීන් හාමතේ මියගිය බව වාර්තා වන අතර, තවත් සමහරුන් බඩගින්නට තණකොළ බුදින බවත් පැවසේ.

ලෝක ආහාර සංවිධානයේ, බ්‍රිතාන්‍ය ශාඛාවේ ප්‍රකාශකයකු වන ග්‍රෙග් බැරෝ පවසන පරිදි, සිරියානු ගැටුම තුල මේ තත්වය පසුගිය වසර කිහිපය පුරාම දක්නට ලැබුණු තත්වයක්.

"ලක්ෂ ගාණක ජනකායක් මේ විදියට පීඩා විඳිනවා කියලයි අපි හිතන්නේ. මේ ජනතාවට ආහාර සැපයීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්," ඔහු පැවසීය.

මදායා නගරයට ආහාර සහ ඖෂධ සපයන අතරවාරයේම, ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ගම්මානවලටත් ආහාර ආධාර සැපයීම එක්සත් ජාතීන්ගේ සැලසුමයි.

මේ අතර උතුරු සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනය පවතින ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පාසලක ඉගෙනුම ලබමින් සිටි දරුවන් 12 දෙනකුවත් මියගොස් ඇති බව වාර්තාවේ.