ඇඟිලි සලකුණු නොදී ආබෲ අනිසි දොරකින් පිටවෙයි

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබෙන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ ඇප මත මුදා හල කොළඹ මහාධිකරණය ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්තාවක් කැඳවන මෙන් පොලිසියට නියම කළේය.

ඇඟිලි සලකුණු ලබාගන්නැයි නියෝග කෙරුණු අවස්ථාවක විත්තිකරු බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රඳවා තැබීම සාමාන්‍ය ක්‍රමයයි.

අනිසි දොර

එසේ බන්ධනාගාරය භාරයට පත් කර සිටි විත්තිකාර සරත් ආබෲ හදිසියේ විනිසුරුවරයා පිවිසෙන දොරටුවෙන් පිට වී යාම නිසා අධිකරණ සංකීර්ණය තුළ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

පසුව විත්තියේ නීතිවේදීන්ගේ මැදිහත් වීමෙන් ඔහු යළි අධිකරණයට ගෙන්වා ගෙන තිබේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට එරෙහි නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරත් ආබෲ ට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබීය.

'නිවැරදි කරු'

එම චෝදනාවලට තමන් නිවැරදි කරු බවයි විත්තිකරු ප්‍රකාශ කළේ.

එහෙත් විත්තිකාර හිටපු විනිසුරුවරයාට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ චෝදනා පත්‍රය මුළුමනින්ම නීති විරෝධී බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිවේදි ටිරන්ත වලලියද්ද ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදාහැරීමට නියම කළ අධිකරණය නඩු විභාගය මැයි මාසයට කල් තැබීය.

සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර සිදු කල බවට චෝදනා කරමින් හිටපු විනිසුරු ආබ්රුට එරෙහිව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.