පරරාජසිංහම් ඝාතනය;කරුණා පාර්ශ්වයට එරෙහිව සාක්ෂියක්

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක් කළේ තමන් ඇතුළු පිරිසක් යැයි කරුණා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන සින්දුජන් නැමැත්තා එවකට තමා සමග කියා සිටි බව සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය

එල්ටීටීඊ සංවිධානයේ කරුණා පාර්ශවයේ කණ්ඩායමක් විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කොට ඇති බව දැක්වෙන සාක්ෂියක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර තිබෙන සම්පත් ප්‍රතිවිරාජ් නැමැත්තා ඒ බව අනාවරණය කළේය.

ඉහත කී සාක්ෂිකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කර ඇති බවත් අධිකරණයේ හමුවේ ප්‍රකාශයට පත් විය.

සම්පත් ප්‍රතිවිරාජ් අධිකරණය හමුවේ කියා සිටියේ තමා 2005 වසරේදී නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධනගේ උපදෙස් මත කරුණා කණ්ඩායම සමග කොටි සංවිධානයට එරෙහිව නැගෙනහිර පළාතේ මෙහෙයුම්වලට සහභාගී වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක් කළේ තමන් ඇතුළු පිරිසක් යැයි කරුණා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන සින්දුජන් නැමැත්තා එවකට තමා සමග කියා සිටි බව සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කරුණා කණ්ඩායමේ නැගෙනහිර නායකයකු වන ඉනියාබාරති නැමැත්තා හොඳින් දැන සිටින බව සින්දුජන් තමන් සමග පැවසුවේ යැයිද සාක්ෂිකරු වැඩි දුරටත් සඳහන් කළේය.

විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ රවිරාජ් ඝාතනය පිළිබඳව 2008 වසරේදී තමා පොලිසියට කට උත්තරයක් ලබා දුන් නමුත් සත්‍ය කරුණු කිසිවක් එහිදී ප්‍රකාශ නොකළ බවයි.

එසේ සත්‍ය කරුණු ප්‍රකාශ නොකළේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙතැයි බියෙන් යැයි ඔහු පැවසීය.

නඩු විභාගය මේ මස 29 වනදා යළි විභාග කිරීමට නියමිතයි.

සම්පත් ප්‍රතිවිරාජ් නැමැත්තා ප්‍රථමයෙන් රවිරාජ් ඝාතනයේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුන ද පසුව ඔහු රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා විසින් පියවර ගනු ලැබ තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර