ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඝාතකයන් ආරක්‍ෂා කිරීමේ ක්‍රියාදාමයක් -අනුර කුමාර

තිසර අරවින්ද රතුවිතාන

බීබීසී-ලන්ඩන්

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණ පරීක්ෂණය සඳහා පොලිස් ප්‍රකාශකගේ මැදිහත් වීම මගින් ඝාතකයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් දියත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ සිද්ධිය සිදු වූ වහාම ‘ඝාතකයන් ආරක්ෂා කිරීම සඳහා’ පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ නිකුත් කළ බවයි.

‘සිද්ධිය වූ වහාම මුළුමනින්ම ඝාතකයන් ආරක්ෂා කරන ප්‍රකාශ තමයි ඔහු අතින් සිදු වුනේ. ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම ගැන කල්පනා කරලවත් නැති අවස්ථාවක තමයි ඒ ඝාතනයේ ස්වභාවය ගැන ඉතාම වැරදි තොරතුරු පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ නිසා ඔහුගේ මැදිහත් වීම තුළ පෙනී යනවා එය ඝාතකයන් ආරක්ෂා කිරීම සඳහා දියත් වී ඇති ක්‍රියාදාමයක් බව.’ ජවිපෙ නායකයා පැවසීය.

මාධ්‍ය ප්‍රකාශක

මීට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අතීතයේදී ද මෙවැනි මහජන නොසන්සුන්තා ඇති වූ අවස්ථාවල අධිකරණයට සහය දීම සඳහා පොලිස්පතිවරයා විසින් තමා පත් කරනු ලැබ ඇති බවයි.

‘මම අධිකරණයට පෙන්වා දුන්නා මා විසින් සාක්ෂි මෙහෙයවන අතර තුරදී ඇසිය යුතු ප්‍රශ්නයක් නොඅසා සිටිය හොත් නැත්නම් නොඇසිය යුතු පැනයක් ඇසුව හොත් එතන දී අධිකරණයට මැදිහත් විය හැකි බව.’ පොලිස් ප්‍රකාශක බීබීසීයට පැවසීය. හඬ පට අමුණා ඇත.

Image copyright b

මෙම සිද්ධිය පිළිබඳව රජයේ ක්‍රියා පිළිවෙත ද දෝෂ දර්ශනයට ලක් කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ පොලිසිය භාර ඇමතිවරයා ද පොලිසිය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා සාගල රත්නායක ඇමතිවරයා ඇමතීමට බීබීසීය කිහිප වරක් උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවීය.