උතුරේ ජනතාවට තෛපොංගල් නෑ - මහ ඇමති

Image copyright Getty
Image caption 'දේශපාලන සිරකරුවන් මුදා හැර නැහැ. ත්‍රස්ත විරෝධී මර්දන පණත ඉවත්කරලා නැහැ. මහජනයා සතු ඉඩම් ඔවුන්ට ආපසු පවරා දී නැහැ'

උතුරේ දෙමළ ජනතාව දෛනිකව මුහුණ දෙන බොහෝ ගැටළු විසඳි නැති තත්වය හමුවේ ඔවුන් තෛපොංගල් උත්සවය සමරන්නේ කෙසේ දැයි උතුරේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ප්‍රශ්න කරයි.

මහ ඇමතිවරයා එම ප්‍රශ්නය මතු කළේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු කටයුතු භාර බ්‍රිතාන්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් ගේ සහභාගිත්වයෙන් සිකුරාදා යාපනයේදී පැවැත්වුණු තෛපොංගල් උත්සවය අමතා කතා කරමින්.

"දේශපාලන සිරකරුවන් මුදා හැර නැහැ. ත්‍රස්ත විරෝධී මර්දන පණත ඉවත්කරලා නැහැ. මහජනයා සතු ඉඩම් ඔවුන්ට ආපසු පවරා දී නැහැ," මහ ඇමතිවරයා පැවසීය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සිය සමීපතමයන්ට අත්වූ ඉරණම හෙළිකරන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ මහ ඇමතිවරයා, හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ ජීවිත තවමත් යථා තත්වයට පත් වී නැති බවද පැවසීය.

Image caption 'ශ්‍රී ලංකාවේ සෞභාග්‍යමත් අනාගතයක් පිළිබඳ පෙර මග ලකුණු'

එමෙන්ම තවමත් පළාත් සභාවේ කටයුතුවලට ඇඟිලි ගසන බවට අගමැතිවරයා අභිමුවදීම මධ්‍යම ආණ්ඩුවට චෝදනා කළ මහ ඇමති විග්නේශ්වරන්, කෙසේ නමුත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නව ආණ්ඩුව පියවර ගත් බව පිළිගත්තේය.

"නමුත් තාමත් අපිට ප්‍රශ්න තියෙනවා. එකක්, දෙමළ ජනයාගේ ගැටලුවලට එක්සත් ජාතීන්ගේ මූලධර්ම යටතේ විසඳුමක් අවශ්‍යයි. 2015 සැප්තැම්බර් මාසයේ එකඟවුණ ආකාරයට යුද අපරාධ පරීක්ෂණ සඳහා කටයුතු කළ යුතුයි," ඔහු පැවසීය.

සිංහල ජනතාව සමඟ තමන්ට ගැටලුවක් නැති බව සඳහන් කළ මහ ඇමතිවරයා, කෙසේ නමුත් දෙමළ ජනතා ගැටළු විසඳීමට දේශපාලකයන් පියවර නොගන්නේ නම් දිගටම ඒ සඳහා හඬ නඟන බව අවධාරණය කළේය.

මේ අතර එම උත්සවයේදී අදහස් දැක්වූ ආසියානු කටයුතු භාර බ්‍රිතාන්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර්, යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අන් කවරදාකටත් වඩා දිගුකාලීන සංහිඳියාවේ බලාපොරොත්තු දැල්වී තිබෙන බව පැවසීය.

එය ශ්‍රී ලංකාවේ සෞභාග්‍යමත් අනාගතයක් පිළිබඳ පෙර මග ලකුණු පළ කරන්නක් බව බ්‍රිතාන්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර