'ඛනිජතෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නැහැ' - චන්දිම

Image caption රජයට බදු නොගෙවන්නේ නම් ලාභයක් ලැබිය හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ

ලංකා ඛනිජතෙල් සංස්ථාව හෝ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් වර්තමාන රජයට නැති බව ඛනිජතෙල් සම්පත් සංවර්ධනය පිලිබඳ අමාත්‍යවරයා වන චන්දිම වීරක්කොඩි පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමග පැවැත්වූ සාකච්ඡාවක දී.

ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙහි තුනෙන් එකක් ඉන්දියානු-ලංකා අයි. ඕ. සී සමාගමටත් ඉතිරි තුනෙන් දෙක ලංකා ඛනිජතෙල් සංස්ථාවට අයිති බව පෙන්වා දුන් ඇමතිවරයා ඉන් ඔබ්බට කිසිදු වෙනස් කමක් කිරීමට සාකච්ඡා පවත්වා නැති බවයි අවධාරණය කළේ.

ඉන්ධන මිළ

ඛනිජතෙල් සංස්ථාව පාඩු පිට පවත්වාගෙන යන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ රජයට ගෙවීමට නියමිත 'බදු ගෙවීමට පෙර' ආදායම් මට්ටම අනුව ලාභ පවතින බවයි.

ලෝක වෙළඳපොලේ ඉතිහාසගත අඩු මිලකට ඉන්ධන විකුණද්දීත් ඛනිජතෙල් සංස්ථාව පෙට්‍රල් විකුණන්නේ පාඩුවට යැයි පවසන්නේ මන්දැයි බීබීසිය විමසූ විට අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ 'නව වෙළෙඳපොල මිල ගණන් අනුව ටෙන්ඩර් කැඳවීම සම්පූර්ණ කොට නොමැති' බවයි.

ඒ අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට නොලැබී යන බව සංදේශය පෙන්වා දුන් මොහොතේ ඛනිජතෙල් මිල තීරණය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිය සඳහන් 'මිල සුත්‍රයක්' පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ මෙවැනි අවස්ථාවල දී පාරිභෝගිකයාට සිදුවන අවාසිය මගහැරවීමේ විසඳුමක් ලෙස බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර