නිල්වලා ගඟට 'ඩීසල් කාන්දුවක්'

Image caption මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ප්‍රදේශ රැසකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබේ

අකුරැස්ස නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් නිල්වලා ගඟට ඩීසල් කාන්දු වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඉරිදා අලුයම සිට ඩීසල් කාන්දුව සිදු වී ඇති තර එසේ කාන්දු වූ ඩීසල් විශාල වශයෙන් ගංගා ජලය හා මිශ්‍ර වී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ඩීසල් ගබඩා කර ඇති ටැංකියකින් සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙලෙස නිල්වලා ගඟට ඩීසල් මිශ්‍ර වී ඇති බවයි.

මේ හේතුවෙන් මාතර නගරය ඇතුළු ප්‍රදේශ රැසකට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ පවතින තත්වය දෙස අවධානය යොමු කොට අකුරැස්ස, මාලිම්බඩ සහ කත්දූව යන ජල මූලාශ්‍රවලින් පිරිපහදු කිරීම් සඳහා ජලය ලබාගැනීම තාවකාලිකව නවතා දමා ඇති බවයි.

පානීය ජලය

මෙම තත්ත්වය ජන ජීවිතයට සහ ව්‍යාපාර කටයුතු කෙරෙහි කෙසේ බලපාවිද?

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මාතර ප්‍රාදේශීය කළමනාකරු එස්කේ සමන්ත කුමාර පැවසුවේ ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි.

Image caption ඉන්ධන පිරවුම්හලේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බව සමුද්‍ර පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයා පවසයි

මේ වන විටත් නිල්වලා ගඟට ඉන්ධන කාන්දු වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

''මේ වනවිට ගොඩක් දුරට තත්වය පාලනය කරලා තියෙන්නේ. දැනට නිල්වලා ගඟට එන තෙල් ප්‍රමාණය අවම මට්ටමක පවතින්නේ.ඒ අනුව නවතා තිබූ ජල පොම්පාගාර තුනෙන් දෙකක නැවත වැඩ කරන්න පටන් අර ගෙන තිබෙනවා'' මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු සුසන්ත වෙදගේ පැවසීය.

මේ අතර ඉහත කී ඉන්ධන පිරවුම්හලේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බව සමුද්‍ර පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරි අචාර්ය පීබීටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය.

තෙල් කාන්දු වීම හේතුවෙන් නිල්වලා ගඟේ වෙසෙන මත්ස්‍යයන්ට බලපෑමක් සිදු වී ඇත්දැයි යන්න සොයා බැලීමට කටයුතු යොදන බවත් සාමාන්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර