ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පරදින්න සෙල්ලම් කරන 'මහත්තුරු'

තිසර අරවින්ද රතුවිතාන.

බීබීසී -ලන්ඩන්

ටෙනිස් ක්‍රීඩාවත් සැලකෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් හැටියටයි. ලොව ඇති පිරිසිදුම ක්‍රීඩාව ටෙනිස් බව ඇතැමෙක් පවසති.

ඒ ක්‍රීඩාවේත් පාවා දීම් සිදු වී ඇති බවට සැක කළ හැකි සාක්‍ෂි ඇතුළත් රහසිගත ලිපි ගොනු කිහිපයක් පිළිබඳව බීබීසීයට සහ ‘බස්ෆීඩ් නිව්ස්’ (BuzzFeed News) මාධ්‍ය ජාලයට අනාවරණය වී තිබේ.

පසුගිය දශකය ඇතුළත ටෙනිස් තරඟ පාවා දුන් බවට සැක කෙරෙන ක්‍රීඩකයන් 16 දෙනෙකුගේ නම් ඒ රහස් ලේඛන තුළ පවතී.

Image copyright Thinkstock

මොවුන් පිළිබඳව වාර්තා වී ඇත්තේ ටෙනිස් ක්‍රීඩාවේ අවංකභාවය සොයා බැලීම සඳහා පත් කර ඇති කමිටුවටයි. (Tennis Integrity Unit) පසුගිය දශකය තුළ මේ 16 දෙනාගේ නම් වරින් වර වාර්තා වී තිබේ.

මොවුන් ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයන් 50 දෙනා ගේ ලැයිස්තුවේ ද සිටීම විශේෂත්වයකි.

ටෙනිස් ක්‍රීඩාවේ පාරිශුද්ධත්වය රැකීමට සිටින ඉහත කී කමිටුව පවසන්නේ ඔට්ටු සම්බන්ධයෙන් සිදු වන දූෂණ කෙරෙහි ඔවුන් කිසිදා ළිහිලක් නොදැක් වූ බවයි.

Image copyright Reuters
Image caption නෝවැක් ජොකොවිච්

මේ අතරතුර තරඟ පාවා දීමක් සඳහා පොළොඹවා ගන්නට තමන්ටත් කෙනෙකු ‘කිට්ටු වන්නට’ උත්සාහ කළ බව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාද පිළිගත්තේය. ඒ නෝවැක් ජොකොවිච්.

ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේ දී එක්තරා තරඟයකින් උවමනාවෙන් ම පරාජය වීම සඳහා පවුම් එක්ලක්‍ෂ දස දහසක් ලබා දීමට යම් පුද්ගලයෙක් උත්සාහ කළ බවත් එය එකිනෙහිම ප්‍රතික්‍ෂේප කළ බවත් ඔහු පවසයි.

නමුත් ටෙනිස් තරඟ පාවා දීම ඉහලම තලයේ ක්‍රීඩකයන් අතර ව්‍යාප්ත වී නැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ නමුත් තවත් ක්‍රීඩාවක් පාවා දීමේ චෝදනාවලට මුහුණ දී තිබීම ගැන තම ‘බලවත් සැළකිල්ල’ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද පළ කළේය.

කෙසේ නමුත් මෙවැනි දේ අසන්නට ලැබීමෙන් අවසානයේ විඳවන්නේ ක්‍රීඩා ලෝලියායි.