මාලඹේ වෙද සිසුන්ට එරෙහිව රජයේ වෙද සිසුන්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට රජය ගෙන ඇති තීන්දුව අහෝසි කරන්නැ’යි බල කරමින් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුනා.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන කිහිපයක් විරෝධතාවට එක්ව සිටි අතර අධිකරණ සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.

මෙම විරෝධතාව පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු බ්‍රයන් ජයලත් කියා සිටියේ මාලඹේ සයිටම් විදුහලේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීම තුලින් රජයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට සායනික පුහුණුව ලැබීමට තිබෙන ඉඩකඩ අහිමි වන බවයි.

විරෝධතාවට සහාය පළ කිරීම සඳහා එක්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද සොයිසා කියා සිටියේ රජයේ මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

තමන්ට පුහුණුව ලබා දීම රජය ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් සයිටම් විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණි.

මෙම දැනුම් දීම පිළිබඳව සැහීමකට පත් වන බව කියා සිටි අදාළ සිසුහු ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර ගත්හ.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඉඩ දෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කලද එය පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගන්නා නිසා ඊට අවස්ථාව දිය නොහැකි බව අධිකරණය ප්‍රකාශ කළේය.