සිල් රෙදි නඩුව ඉදිරියට

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා දිවයින පුරා සිල් රෙදි බෙදා දීම ඇතුළු පොදු දේපළ භාවිතයෙන් රජයට සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා රජයේ විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

අදාළ පාඩුව යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ඉදිරිපත් කළ පෙත්සමක් අද (19) කැඳවූ අවස්ථාවේදී යි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණයට කියා සිටියේ ජනාධිපතිවරණය සමයේ සිල් රෙදි බෙදා දීම ඇතුළු පොදු දේපළ අවභාවිතයෙන් රජයට සිදුවූ අලාභය නැවත අය කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

මාර්තු මාසයේ

එම අලාභය තක්සේරු කිරීම සඳහා රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තා කැඳවා පරීක්ෂණයක් සිදු කර සුදුසු නියෝගයක් පනවන ලෙසයි එම නීතිවේදියා ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

මෙහිදී රජයේ නීතිවේදියා කියා සිටියේ පසුගිය වසරට අදාළ රජයේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මාර්තු මාසයේ බැවින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ද පිටපතක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ලබන මැයි මස 05 වනදාට පෙර අදාළ වාර්තාව ඉදිරිපත් කරන්නැයි රජයට නියම කළ අධිකරණය එය සලකා බලා සුදුසු නියෝගයක් කරන බව ද ප්‍රකාශ කළේය.