ජීවන කුසලතා: ළමා ලිංගික දැනුම නංවා ලීමට නව විෂයක්

Image copyright childprotection.gov.lk
Image caption 'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා'

ජීවන කුසලතා නමින් නව විෂයයක් හඳුන්වා දෙමින් ළමුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පවසයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඉහත කී වැඩපිළිවල දියත් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

'ශරීරය පිළිබඳ, එහි ස්වභාවය, ශරීරයේ ආරක්ෂාව මෙන්ම නිසි වයසට එළඹී ළමුන්ට ලිංගික අධ්‍යාපනය හා සම්බන්ධතා ගැනත් අධ්‍යාපනයක් දෙන්න මේ විෂය ඇතුළත් කොට තිබෙනවා' ඇය සඳහන් කළාය.

ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් දරුවන්ට ඔවුන්ගේ ශරීරය, ලිංගිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය බවයි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර පෙන්වා දෙන්නේ.

අපරාධ නීතියෙන් පමණක් ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ඇය කියා සිටින්නීය.

ලිංගිකත්වය සහ ආරක්ෂාව

'මේ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න පුළුවන් වුනොත් ඒ හරහා ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකි වෙයි කියලා අපි හිතනවා' ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය.

දැනට ක්‍රියාත්මක වන පාසල් විෂය ධාරාව තුළ දරුවන්ට සිය ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලැබේද යන්න සංදේශය ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්.

පළමු ශ්‍රේණියේ සිට ටිකෙන් ටික තමුන්ගේ ශරීරය ගැන, ඒ වගේම ජීවන කුසලතා ගැන. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඇති වන ප්‍රශ්න, ගැටළු කොහොමද විසඳන්නේ, අනෙක් අයගේ ගැටළු ගැන කුමන ආකාරයකටද බලන්නේ වැනි ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකාරය අපට වර්ධනය කළ යුතුව තිබෙනවා’ ඇය කියා සිටියාය.

'බොහෝ විට දරුවන් නොදැනුවත්කම හේතුවෙන් ස්පර්ශයන් ඔස්සේ අපයෝජනයට ලක් වන අවස්ථා එමටයි' ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර තව දුරටත් සඳහන් කළාය.

දෙමව්පියන් සහ දරුවන්

එවැනි පරිසරයක ශරීරය සහ අතවර අතර පවතින සම්බන්ධතාව දරුවන්ට වටහා දීම වැදගත් බවයි ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පෙන්වා දෙන්නේ.

'නොදැනුවත්කම වගේම වැඩිහිටියන් හා දරුවන් අතර විවෘත සාකච්ඡාවක් ඇති නොවීම මේ තත්වයට බලපා තිබෙනවා. අපි සෑම විටම දෙමව්පියන් සහ වැඩිහිටියන්ට උපදෙස් දෙන්නේ ළමයා සමග ශරීරය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරන ලෙසයි' ඇය සඳහන් කළාය.

එවිට දරුවන්ට චකිතයකින් තොරව විශ්වාසයෙන් යුතුව සිය අත්දැකීම් දෙමව්පියන් සමඟ පැවසීමට හැකි වන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර වැඩිදුරටත් පවසන්නේ.