ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තයේ හෙට දවස?

Image copyright Getty
Image caption පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ සිට පැවත ආ කුරුඳු වගාවේ වෙළඳ ඒකාධිකාරය තවමත් හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි

ශ්‍රී ලංකාවට ගොඩ බට ලොරෙන්සෝ ද අල්මේදා තමන්ට දැනුණු කුරුඳු සුවඳ ඔස්සේ ඉව අල්ලමින් කුරුඳු ඉඩම් සොයමින් ගොඩ බිම සිසාරා ඇවිද ගියේ ය. මේ බව වටහා ගත් සිංහල මඟ පෙන්වන්නෝ ඔහුට කුරුඳු ඉඩම් නොපෙනෙන්නට වග බලා ගනිමින් වෙනත් වට මඟකින් ඔහු කැඳවා ගෙන ගියහ. ලොරෙන්සෝ ද අල්මේදා එදා ගියේ කෝට්ටේ රජ්ජුරුවන් සොයා නොව වටිනා සම්පතක් වූ කුරුඳු සොයා බවයි අතීත තතු දන්නන් කියා සිටින්නේ. අද කුරුඳුවත්ත ලෙස හැඳින්වෙන පෙදෙසේ සිට මරදාන දක්වාම එදා කුරුඳු වතු පැවති බවටයි ඉතිහාසය සාක්ෂි දරන්නේ.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ සිට එලෙස පැවත ආ කුරුඳු වගාවේ වෙළඳ ඒකාධිකාරය තවමත් හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. ෂීෂෙල්ස් හා මැඩගස්කරයේත් බ්‍රිතාන්‍යයන් කුරුඳු වගා කළ ද ඉන් මේ වනවිට නිසි පල නෙළා නොගැනෙන බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව අපනයනය කරන කුරුඳු හා කුරුඳු නිෂ්පාදනවලින් 40-50% ක් පමණ ප්‍රමාණයක් මිල දී ගන්නේ මෙක්සිකෝවයි. අනෙකුත් ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ ලතින් ඇමරිකානු රටවල්, ස්පාඤ්ඤය හා ජර්මනිය ඇතුළු රටවල් 73ක්.

රාජ්‍ය අනුග‍්‍රහය

Image copyright Getty
Image caption ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි

කුරුඳු භෝගය පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගේ අපනයන ආදායමේ ප‍්‍රධාන තැනක් ගත් බවයි ඓතිහාසික සාක්ෂිවලින් අනාවරණය වන්නේ. ලන්දේසි යුගයේ විධිමත් ආකාරයකට මෙරට කුරුඳු වගාව ව්‍යාප්ත කරනු ලැබූ අතර ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහයද නොඅඩුව ලබාදී එය ආරක්ෂා කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් යොදා තිබුණු බවයි අතීත වාර්තා පෙන්වා දෙන්නේ.

1948 දී ශ‍්‍රී ලංකාව ස්වරාජ්‍ය තත්ත්වය ලබා ගැනීමෙන් පසුව තේ, පොල්, රබර් වැනි වාණිජ භෝග හා වී ගොවිතැන වැනි පාරිභෝගික කෘෂිකාර්මික අංශ කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරීම නිසා කුරුඳු වගාවේ වැදගත්කම අඩු වූ බවටයි කරුණු ඉදිරිපත් වන්නේ. කුරුඳු වගාවේ ව්‍යාප්තිය අඩු වී ගිය ද ඉන් ජාතික ආර්ථිකයට ලැබෙන ආදායම් ප‍්‍රමාණය සුළුපටු නොවන බවයි දශක කිහිපයක අපනයන ආදායම් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ.

කුරුඳු අපනයනයෙන් රුපියල් මිලියන 45,000ක ආදායමක් පසුගිය 2014 වසරේ ලැබී තිබිණි. සුළු අපනයන භෝග අපනයනයෙන් ලද ආදායම 43.7% දක්වා වර්ධනය වී තිබීම ද මෙය තහවුරු කරන තවත් සාධකයක්. සාම්ප්‍රදායික අපනයන භෝග වන තේ හා රබර්වලින් ලැබෙන අපනයන ආදායම 22% ක් හා 7% ක් ලෙස වර්ධනය වෙද්දී සුළු අපනයන භෝග අපනයනයෙන් ලද ආදායම 43.7% දක්වා වර්ධනය වීම සුවිශේෂ තත්වයක්.

මේ වන විට ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තය ප්‍රධාන ගැටලු දෙකකට මුහුණ දී සිටියි. කුරුඳු තැලුම්කරුවන් ගේ උග්‍ර හිඟය මේ අතුරින් ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත. කුරුඳු තැලුම්කරුවන්ගේ හිඟය හේතුවෙන් පසූගිය වසර පහක පමණ කාලයක සිට කුරුඳු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා නැති බවයි මහ බැංකු සංඛ්‍යා ලේඛන හා දත්ත පෙන්වා දෙන්නේ.

අභියෝග

Image copyright Getty
Image caption කුරුඳු අපනයනයෙන් රුපියල් මිලියන 45,000ක ආදායමක් පසුගිය 2014 වසරේ ලැබී තිබිණි

යුරෝපීය සංගමය මගින් ආහාර හා කෘෂිකර්ම ද්‍රව්‍ය ආනයනය කිරීමේදී නව ආරක්ෂක හා සෞඛ්‍ය තත්ත්වයන් සලකා බැලීම හේතුවෙන් ශ්‍රීලාංකීය කුරුඳු නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම ද ප්‍රධාන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙයි.

මේ තත්ත්වය හේතුවෙන් කුරුඳු වගාවෙන් හා නිෂ්පාදන අපනයනයෙන් අප රටට අත්විය යුතු ඉහළ ම ප්‍රතිලාභ තවමත් අත්වී නොමැති බවයි ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වතුන් මෙන් ම එම ක්ෂේත්‍රයේ නිරතව සිටින ප්‍රාමාණිකයන් පවසන්නේ.

''සිලෝන් ටී මෙන් ශ්‍රී ලාංකීය සන්නාමය තහවුරු කෙරෙන, අගය එකතු කෙරුණු නිපැයුමක් ලෙස අපේ කුරුඳු තවම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්ථාවර තැනක් අත්පත් කර ගෙන නෑ. ‘ඔපෙක්‘ සංවිධානය සතුව තෙල් පිළිබඳ ඒකාධිකාරය පවතිනවා සේම වසර දෙදහසකටත් අධික කාලයක් තිස්සේ ලෝක කුරුඳු වෙළෙඳපොළේ ඒකාධිකාරය පවතින්නේ අප සතුවයි. එය දැනට ලෝක වෙළෙඳපොළේ අප සතුව පවත්නා එකම ඒකාධිකාරයයි. මේ ඒකාධිකාරයේ ශ්‍රී ලාංකීය සන්නාමය තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීමයි අද පවතින ගැටලුව''

ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එසේ අදහස් දක්වන්නේ ලංකා කුරුඳු සංගමයේ සභාපති සාරද ද සිල්වායි.

රාජ්‍ය යාන්ත්‍රණය

Image copyright Getty
Image caption කුරුඳු තැලුම්කරුවන්ගේ හිඟය හේතුවෙන් පසූගිය වසර පහක පමණ කාලයක සිට කුරුඳු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා නැති බවයි මහ බැංකු සංඛ්‍යා ලේඛන හා දත්ත පෙන්වා දෙන්නේ

මේ තත්ත්වයට මුහුණ පාන්නට ශ්‍රී ලාංකීය කුරුඳු කර්මාන්තයට සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම පිණිස නිසි රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා බවයි සාරද ද සිල්වා පෙන්වා දෙන්නේ.

''අප මෙවර අයවැය සඳහා යෝජනාවක් ලෙස කුරුඳු සංවර්ධන අධිකාරියක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන්නා. එය ආණ්ඩුව පිළි ගත්තා. දැනට කුරුඳු කර්මාන්තයේ විවිධ ක්‍රියාකාරකම් සිදු වන්නේ විවිධ අංශ මඟින්. එහි පවතින්නේ විසිරී ගිය ස්වභාවයක්. කුරුඳු සංවර්ධන අධිකාරියක් පිහිටුවීමෙන් අප අදහස් කරන්නේ මේ සමස්ත ක්‍රියාවලියම එකම යාන්ත්‍රණයකින් නියාමනය වනවා දැකීමටයි.''

කුරුඳු කර්මාන්තයේ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ අනෙකුත් යෝජනා අතර කුරුඳු හා කුරුඳු නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා පර්යේෂණ කිරීම පිණිස කටයුතු කිරීම, ඒ සඳහා කුරුඳු පර්යේෂණ ආයතනයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් කුරුඳු පුහුණු ඇකඩමියක් ස්ථාපිත කිරීම ආදිය ඇතුළත් වන බවයි සාරද ද සිල්වා පවසන්නේ.

මේ වන විට කුරුඳු හා කුරුඳු ආශ්‍රිත නිපැයුම්හි අගය එකතු කිරීම සඳහා පර්යේෂණ කිරීමට ජාතික විද්‍යා පදනමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50 ක් වෙන් කර තිබෙන බවත් ලංකා කුරුඳු සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඇකඩමියක්

Image copyright Getty
Image caption කුරුඳු වගාවේ ව්‍යාප්තිය අඩු වී ගිය ද ඉන් ජාතික ආර්ථිකයට ලැබෙන ආදායම් ප‍්‍රමාණය සුළුපටු නොවන බවයි දශක කිහිපයක අපනයන ආදායම් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ

''නවීන තාකෂණයට අනුව කුරුඳු තැලුම්කරුවන් පුහුණු කිරීමේ අරමුණින් පුහුණු ඇකඩමියක් ද ස්ථාපිත කෙරුණේ මෑතකදීයි. වසරකට 50 දෙනකු බැගින් වූ කණ්ඩායම් 06 ක් සඳහා යහපත් කෘෂිකර්ම භාවිතය හා යහපත් නිෂ්පාදන භාවිතය මත පදනම් වූ පුහුණුවක් මෙයින් ලබාදීමට අපේක්ෂිතයි. මේ අනූව වසරකට මනා පුහුණුව ලත් කුරුඳු තැලුම්කරුවන් 300 දෙනා කෙෂ්ත්‍රයට එක්වනු ඇති.''

ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් මෙම ඇකඩමියෙන් පුහුණු කෙරෙන පිරිසට ලැබෙන බවයි සාර ද ද සිල්වා පවසන්නේ. තෘතියික වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ව පළමු වරට ප්‍රමිති දෙකක් හඳුන්වා දීම ද මෙම වැඩපිළිවෙළෙහි ම වර්ධනීය තත්ත්වයක් බවයි සභාපතිවරයා පවසන්නේ.

ඒ පිරිස ගේ පුහුණුවට ගැළපෙන ලෙස රාජකාරී කිරීමට හැකියාව ලැබෙන ආකාරයේ පරිසරයකින් හා උසස් වෘත්තීය ප්‍රමිතියකින් සමන්විත කර්මාන්තශාලා 200 ක් හෝ 250 ක් ඇති කිරීමේ සැලසුම් ද මේ වනවිට සැකසෙමින් පවතියි. තනිව හෝ කණ්ඩායම් ලෙස එක්ව මෙම කම්හල් ක්‍රියාත්මක කළ හැකි වනු ඇත.

කුරුඳු හා කුරුඳු හා ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමක් සිදු කොට දැනට අපනයනය සිදු වන්නේ සමස්ත නිපැයුමෙන් සියයට 30 ක පමණ ප්‍රතිශතයකිනි.

''කුරුඳු හා කුරුඳු හා ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමක් සිදු කොට එහි තත්ත්වය ඉහළ නැංවීම සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුව මේ සඳහා රුපියල් මිලියන 50 ක් ලබා දී තිබෙනවා. සායනික පර්යේෂණ සඳහා මෙන් ම කුරුඳු හා කුරුඳු හා ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමක් සිදු කිරීම පිණිස මේ මුදල් යෙදවෙනවා. මේ කටයුත්ත වර්ධනය පිණිස අවශ්‍ය වන්නේ දිරිමත් කිරීමයි. අප මෙතෙක් කල් ආවේ නිෂ්පාදකයන් ගේ පිහිටෙන්. මේ ක්ෂේත්‍රෙය් තව දුරටත් ඉදිරි ගමනක යෙදෙන්නට අපට හැකියාව ලැබෙන්නේ පර්යේෂණ සිදු කොට එහි ප්‍රතිඵල නිෂ්පාදන සංවර්ධන කටයුතු සිදු කර ගැනීම සඳහා දායක කර ගැනීමෙන් පමණයි.'' ලංකා කුරුඳු සංගමයේ සභාපති සාරද ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර