ජීවිත පරදුවට තබා බිම් බෝම්බ ඉවත් කරන්නෝ

Image copyright Getty

යුද්ධය නිමා වූ රටක් හෝ පළාතක් ප්‍රකෘතියට පත් වනු බලා හිඳීම යනු ඉවසීම ප්‍රගුණ කිරීමට ලැබෙන අවස්ථාවක්ය යන්න යුද්ධයෙන් බැට කෑ පලාත්වල වැසියෝ දැන් වටහාගෙන සිටිති.

යාපනයද එහෙමය. සරුසාරකම රැගත් පලාලි වැනි බිම් වෙත ඒවායේ හිමිකරුවන් නෙත් යොමා සිටින්නේ බලාපොරොත්තු සහගතවය. ඒ බිම සරුසාර තරමට බිම් බෝම්බ දරාගෙන හිඳින බවද දන්නා ඔවුන් හිඳින්නේ ඉවසීම ප්‍රගුණ කර නොඉවසිල්ලත් සමග දිවි ගෙවමින්ය.

මරියදාස් යෝගනාදන් මේ බිම් බෝම්බ දරාගෙන ඉන්න මහ පොළව හාරා බැලීමේ නිරීක්ෂකයකු වන්නේය.

ඔහු The Halo Trust – Humanitarian Mine Clearence සංවිධානයේ පරීක්ෂකවරයෙක්. වසර ගණනාවක් මහ පොළව හා ගැටෙමින් බෝම්බ ඉවත් කරන්නට ගිය සිය සගයින් ඒවාටම හසු වී මහ පොළොව බදා ගනිද්දීත් ඔහු බෝම්බ ඉවත් කිරීමේ රැකියාවෙන් ඉවත් නොවීය.

Image caption මරියදාස් යෝගනාදන්

"මේ දිනවල බෝම්බ ඉවත් කිරීම සිදු කරන්නේ පලාලි සිට 'නාග කෝවිල්' දක්වා. පලාලිවල යම් ස්ථානයකින් එහාට තවම ගොස් නැහැ. එතැනින් ඇතුළට යාමට අවසර නැහැ තවම. මුහමාලෙත් දැන් හුඟක් බෝම්බ ඉවත් කර තිබෙන්නෙ. අධි ආරක්ෂිත කලාපවලත් බෝම්බ බොහොමයක් අයින් කර තිබුණත් ඒවායේ සමහර තැන්වල තව බෝම්බ තියෙන්න පුළුවන්," ඒ යෝගාගේ අදහස.

නිවාඩු නැද්ද?

'හැම බෝම්බ ඉවත් කිරීමේ මාසෙකට පස්සෙ දින 28ක් නිවාඩු තියෙනවා. මේක පීඩනය වැඩි රස්සාවක්. ඒ නිසයි එහෙම නිවාඩුවක් දෙන්නෙ.'

කොතරම් බෝම්බ ගණනක් මේ වෙද්දි ඉවත් කරලා තියෙනවද?

'ඒක ගණනින් නම් මතක නෑ.'

Image caption 'මගේ 'ටීම්' එකේ දෙන්නෙක් බෝම්බවලට අහු වෙලා මැරුණා'

බෝම්බ ඉවත් කිරීමේ වර්තමාන තත්ත්වය යෝගාට දැනෙන්නෙ කොහොමද?

'යාපනයෙ කිලිනොච්චියෙ වගේ නම් පහුගිය අවුරුද්දෙ බෝම්බ ඉවත් කරලා තැන් ගණනාවක කටයුතු නවත්තලා තියෙන්නෙ. යාපනයේ බිම් බෝම්බ සියල්ල දැන් ඉවත් කරල ඉවරයි. මුහමාලේ තව අවුරුදු දෙකකට වැඩ තිබෙනවා.'

මේ වැඩේදි බය දැනිලා නැද්ද?

'අවදානමක් තියෙනවා. බෝම්බ ඉවත් කරන්නත් ඕනනෙ. මේකට එන අයට පුහුණුවක් ලැබෙනවා. ඒ අනුව වැඩ කරන්නයි තියෙන්නෙ. යුද්ධෙන් පස්සෙ එල්ටීටීඊ අයත් බිම් බෝම්බ ඉවත් කරන්න සම්බන්ධ වුණා. ඒ ආර්ථික ක්‍රියාවලියෙ තියෙන අඩුපාඩුකම් එක්ක. පුනරුත්ථාපනය වී එන හුඟක් එල්ටීටීඊ අය ජීවත් වීම වෙනුවෙන් මේ රැකියාවටත් ආවා.'

බෝම්බ ඉවත් කිරීමේදී මුහුණ දෙන විශේෂ සිද්ධි තියෙනවාද?

'මගේ ටීම් එකේ දෙන්නෙක් බෝම්බවලට අහු වෙලා මැරුණා. (ඔහු ඡායාරූප පෙන්වයි) බෝම්බ ඉවත් කිරීමට යාමේදී සමහර වෙලාවට පැනඩෝල් කාඩ් එකක්, අරක්කු බෝතලයක මූඩියක් වුණත් බෝම්බයක් හැටියට සංඥා නිකුත් කරන අවස්ථා තිබෙනවා. හුඟක් වෙලාවට බිම් බෝම්බ හමු වෙන්නෙ වතුර වලවල්, තැඹිලි ගස් තිබෙන ස්ථාන ආසන්නයෙන්. මොකද, ඒවා වැළලූ අය තවත් කෙනෙක් වැඩියෙන් එන ස්ථානය අනුමාන කරලයි ඒවා වළ දමලා තියෙන්නෙ.'

Image caption 'හැම බෝම්බ ඉවත් කිරීමේ මසකට පස්සෙ දින 28ක් නිවාඩු තියෙනවා. මේක පීඩනය වැඩි රස්සාවක්. ඒ නිසයි එහෙම නිවාඩුවක් දෙන්නෙ.'

රැකියාවේ ගෙවීම් කොහොමද?

'ගෙවීම් මහන්සියේ ප්‍රමාණයට සිදු කරනවා. ජීවිත අවදානම තමයි තියෙන්නෙ. කොච්චර හොඳට මග පෙනවාදීම් සිදු කළත් කුමන හෝ සුළු අඩුවක් වුණොත් තත්ත්වය වෙනස් වෙනවා'.

යාපනය, කිලිනොච්චි, වවුනියා දිස්ත්‍රික්කවල තවත් බිම් බෝම්බ තිබෙන බව සත්‍යයකි. ඒවා ඉවත් කිරීම මීට වඩා කඩිනම් කළ නොහැකි ක්‍රමවේදයක් නැත්තේ මදැයි යන්න ගැටලුවක්.

අවතැන් කඳවුරුවල හිඳ බලා උන් ඇතැමෙකු සමහර තැනෙක නැවත පදිංචි වී අවසන්ය. නමුත් තවත් සමහරෙකු තවමත් නෙත් යොමා හිඳින්නේ සිය නිජබිම් වෙතය. පරම්පරාවේ දායාදයන් වෙතය. අතීත මතකයන් රැගත් සිය බිම් වෙතය. ඒ බලාපොරොත්තු ඉටු වන්නට නම් ඒ බිම්වලින් බිම් බෝම්බ ඉවත් කෙරිය යුතුය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර