මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර චෝදනාව 'බොරුවක්'

Image copyright defence.lk
Image caption 'එහෙම වුනා නම් ඒක බොහොම ලජ්ජා විය යුතු කරුණක්. ඒත් ඒක සාවද්‍ය වාර්තාවක්'

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට විවිධ ලිංගික අපහාස සහ හිරිහැර කළ බවට චෝදනා කරමින් පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව කතානායක කරු ජයසූරිය පවසයි.

"ඇත්තෙන්ම ඒ පුවත්පත් වාර්තා දැක්කම මමත් කම්පා වුනා, මොකද එහෙම වුනා නම් ඒක බොහොම ලජ්ජා විය යුතු කරුණක්," කතානායක කරු ජයසූරිය බීබීසී සංදේශයට පැවසීය.

තමන් ඒ පිළිබඳව මන්ත්‍රීවරියන් දස දෙනාගෙන්ම කරුණු විමසූ බව සඳහන් කළ කතානායකවරයා, එවැන්නක් සිදු නොවූ බව සියලු මන්ත්‍රීවරියන් තමන්ට තහවුරු කළ බවත් පැවසීය.

ව්‍යවස්ථා සංශෝධනය

"ඉතින් ඒක නිසා ඒක සාවද්‍ය වාර්තාවක්. නමුත් මම කැමතියි පැහැදිලි කරන්න එහෙම දෙයක් සිද්ද වුනොත් අපි බොහොම තදින් දැඩිව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා," කතානායකවරයා කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

පසුගිය ජනවාරි නම වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම ලබන මාසයේ මුල දිනයක පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කතානායකවරයා සඳහන් කළේය.

අදාළ ඡන්ද විමසීම අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, එය ලබන මාසයේ මුල් සතියට කල් දැමීමට තීන්දු කළ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු යයි අගමැතිවරයාගේ යෝජනාවේ දැක්වෙන නමුත්, එහි ඇතුලත් 'නව' වචනය ඉවත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට අගමැතිවරයා එකඟත්වය පළ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය සහ තවත් පාර්ශවයන්ද සංශෝධන ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව විවාදයට ගන්නා බවයි, කතානායකවරයා පවසන්නේ.