ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'වකුගඩු ජාවාරමක් රහසිගතව සිදුවීමට ඉඩක් නැහැ'

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන වකුගඩු ජාවාරම පිළිබඳව ඇතැම් වෛද්‍යවරුන් මුදලට යම් යම් ප්‍රකාශ නිකුත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ බව කියා සිටියේ බීබීසී සංදේශය කළ විමසීමකදීයි.

‘අපෙත් වෛද්‍යවරු කොටසක් ඉන්නවා මුදලට කතා කරන. ඒ පුද්ගලයින්ට කීයක් හරි දුන්නහම හෝ විවිධාකාර හේතු නිසා ප්‍රකාශන කරනවා.’ ඔහු පැවසීය.

Image copyright Thinkstock
දින කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසීයට කියා සිටියේ වකුගඩු ජාවාරමක් ගැන මීට පෙර වාර්තා වූ අවස්ථාවේ ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස රජයට දැනුම් දුන් අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු නොකිරීම ආණ්ඩුවේ වරදක් බවයි.

නමුත් බීබීසීයේ උපාලි ගජනායක කළ විමසීමකදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කළේ ආණ්ඩුවට එවැනි දැනුම් දීමක් තම සංගමය විසින් සිදු කරනු ලැබ නැති බවයි.

‘මම නම් දැනුවත්ව අපි එහෙම දැනුම් දුන්නේ නැහැ. වකුගඩු ප්‍රතිකාර සිද්ධ වෙනවා. අපේ පනත අනුව තියෙන ක්‍රම වේදය උල්ලංඝනය වෙනව නම් තමයි ජාවාරමක් කියන්න වෙන්නේ.’ වෛද්‍ය පාදෙණිය පවසයි.

‘එක්තරා පුද්ගලයෙක් ඉන්දියානු පොලිසියට පැමිණිල්ලක් කළාය කියල, ඒක ඉන්දියානු පත්තරවල පළ වුනාය කියල, ඒක උඩ අපේ මාධ්‍යවලත් ලොකුවට පළ වීම නිසා තමයි මේක ලොකු ගැටළුවක් බවට පත් වෙලා තියෙන්නේ.’ සභාපතිවරයා පැහැදිලි කළේය.

සදාචාරය?

Image copyright z

ශ්‍රි ලංකාවේ පෞද්ගලික රෝහල්වල එවැනි දෙයක් රහසිගතව සිදු වීමට ඉඩ කඩ නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියානුවන් වැඩි පුරම වකුගඩු විකුණන්නේ යුරෝපයට වන බැවින් එහි ඇති සදාචාරය පිළිබඳවත් කතා කළොත් යහපත් නොවේ දැයි වෛද්‍ය පාදෙණිය බීබීසීයට යෝජනාවක් කළේය.

‘ඉන්දියාවේ වකුගඩු වැඩියෙන් ම විකුණන්නේ ලංකාවට නෙමෙයිනේ. වැඩියෙන්ම විකුණන්නේ යුරෝපයට. එතකොට ඒකෙ සදාචාරයකුත් කතා කළොත් හොඳයි නේද? මේ ලංකාවට ඇවිල්ල ඉන්දියානු වැසියෙක් ම තවත් ඉන්දියානු වැසියෙක්ට වකුගඩුවක් දෙන එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.’ විශේෂඥ වෛද්‍ය පාදෙණිය ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන වකුගඩු ජාවාරම පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රරකාශක රුවන් ගුණසේකර බීබීසී සංදේශයට පැවසීය.