ඥානසාර හිමිට වරෙන්තු

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද (25) විභාග වෙමින් පවතිද්දී උසාවි භූමියේ දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදී තර්ජනය කිරීම හේතුවෙනි.

මෙය අධිකරණයට කළ අපහාසයක් බැවින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව නීතීඥවරු මෙම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට සැල කළහ.

මේ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටියේ ඥානසාර හිමි තමන්ට උසාවි භුමියේ දී බැණ වැදී තර්ජනය කළ බවයි.