'අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නැහැ-යුක්තිය ඉටුවිය යුතුයි'

නඩුවක දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර යුක්තිය ඉටු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ ඇඹිලිපිටිය ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා මෙන් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු විසින් සිදු කරන ලද නියෝගයෙන් අනතුරුවයි.

ඇඹිලිපිටිය නව නගරයේ සාදයක දී පොලිසියේ පිරිසක් සමග ඇති වූ ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් විසිනව හැවිරිදි එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් අනාවරණය වූ සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු නියෝග කළේ.

මරණකරුගේ විවාහක ගැබිනි බිරිඳ වූ ශෂිකා නිශාමනී මුණසිංහ අද (27) පැය එක හමාරක් තිස්සේ සාක්කි දුන් අතර ඇය කියා සිටියේ, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිය සැමියාට මරණය ගෙන දුන් පහර දීමේ සිද්ධියට පැමිණි බව තමා හඳුනා ගත් බවයි.

තම සැමියා ඉහළ මහලකින් පහළට තල්ලු කර දැමුවේ සහකාර පොලිස් අධිකාරිවරයා බවයි ඇය කියා සිටියේ.

මහජන සැකය

Image caption සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයෙන් පසු ඇඹිලිපිටිය නගරය තුළ අතිරේක ආරක්ෂක බලකා යොදවා තිබිණ

මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මෙම සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් පැවසුවේ මරණ පරීක්ෂණයක දී අපරාධයක් සිදු වී ඇති බවට සාක්කියකින් සැකයක් මතු වන්නේ නම් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි.

ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විභාගය පැවැත්වෙන අතරවාරයේ අධිකරණ භූමියෙන් පිටත සිටි කණ්ඩායමක් ‘යුක්තිය ඉටු නොවීම ගැන’ ලියැවුන පුවරු රැගෙන නිහඩ විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියහ.