රනිල් ගේ ප්‍රකාශය තර්ජනයක් - මාධ්‍ය සංවිධාන

Image caption 'මන්ත්‍රීවරුන් නම් කරන්න පුළුවන් නම් පත්තර වලට, ඇයි අපිට බැරි මාධ්‍යවේදියකු නම් කරන්න?'

ඇඹිලිපිටියේදී තරුණයකු මරුමුවට පත්වීම සහ හෝමාගම අධිකරණය ඉදිරිපසදී බොදු බල සේනා සංවිධානය හැසිරුණු ආකාරය සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණය සංසන්දනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ජනමාධ්‍යවලට එල්ල කළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

"තමුන්නාන්සේලා හෝමාගම සිද්ධිය ගැන එක කතුවැකියක් ලියා තිබේදැයි," පුවත්පත් කීපයක නම් සඳහන් කරමින් අගමැතිවරයා ප්‍රශ්න කළේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ප්‍රගීත් එක්නැලිගොඩට අත් වූ ඉරණම පිළිබඳව සොයා බැලීම රණවිරුවන් ගැන විභාගයක් නොව, සිවිල් වැසියකුට අත් වූ ඉරණම හෙළි කර ගැනීමක් වන බවයි අගමැතිවරයා අවධාරණය කළේ.

'ප්‍රකෝපකාරී, අපරිණත හැසිරීමක්'

ඇඹිලිපිටිය සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඔහු පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය, පුවත්පත් කිහිපයක් සහ විද්‍යුත් මාධ්‍ය ආයතනයක් නම් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අප්‍රසාදය පල කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එය විග්‍රහ කරන්නේ 'ප්‍රකෝපකාරී, අපරිණත හැසිරීමක්' ලෙසින්.

Image caption ඇතැම් සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල හැසිරීම මාධ්‍ය ක්‍රියාධරයන්ගේම විවේචනයට ලක්විය

අගමැතිවරයා මතු කළ කරුණු සම්බන්ධයෙන් සැබවින්ම කළ යුතුව තිබුනේ මාධ්‍ය ප්‍රජාව සමඟ සාකච්ඡා කොට එම ගැටළු විසඳා ගැනීම බවත් සීතා රංජනී සහ සී දොඩාවත්ත ගේ අත්සනින් යුතු නිවේදනයේ සඳහන්.

කතුවැකි ලිවිය යුත්තේ කෙසේ දැයි කතුවරුන්ට අභියෝග කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

'තර්ජනයක් නොවේ'

සිය ප්‍රකාශය පිළිබඳව යළිත් වරක් සිකුරාදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අගමැතිවරයා, මාධ්‍යවේදීන්ට දේශපාලකයන් නම් කර අදහස් පළකිරීමට අයිතියක් තිබේ නම් දේශපාලනඥයන්ටද එම අයිතිය හිමි බව පැවසීය.

එනමුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් තමා කිසිවිටෙකත් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකළ බව ඔහු අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේ, ඔහුගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කළ අවස්ථාවේ එයට ප්‍රතිචාර දක්වමින්.

"මේ ගොල්ලෝ කියනවා මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියල. මම එහෙම කරලා නැහැ. මම නම් කළා ඒකෙ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඒක අයිතියක් නෙවෙයිද අපිට."

තමන් ප්‍රකාශ කළේ මාධ්‍ය තුලින්ම මතු වූ අදහස් බවත් අගමැතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර