ජනප්‍රියම පුවත් මූලාශ්‍රය 'පෞද්ගලික නාලිකා'

Image copyright Getty

එදිනෙදා සිදුවීම් පිළිබඳ තොරතුරු හා කාලීන පුවත් ලබා ගන්නා මූලාශ්‍ර අතරින් ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය මූලාශ්‍රය ලෙස පුද්ගලික රූපවාහිනී මාධ්‍ය මුල් තැනට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වෙයි.

එම දත්ත ඉදිරිපත් වී ඇත්තේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, සමාජ ජාල මාධ්‍ය භාවිතය හා අවබෝධය පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණයෙනි(CONSUMPTION & PERCEPTIONS OF MAINSTREAM & SOCIAL MEDIA IN THE WESTERN PROVINCE).

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගෙන එම පරීක්ෂණය සිදු කරනු ලැබුවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගිනි.

ක්ෂේත්‍ර පර්යේෂකයන් හැට දෙනකු ගේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම පර්යේෂණය සඳහා බස්නාහිර පළාතේ විවිධ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසකගෙන් තොරතුරු ලබා ගෙන ඇත.

පර්යේෂණ වාර්තාවට අනුව තොරතුරු හා කාලීන පුවත් ලබා ගන්නා මුලාශ‍්‍ර අතරින් පුද්ගලික රූපවාහිනී මාධ්‍ය මුල් තැන හිමි කර ගන්නා අතරවාරයේ එහි දෙවැනි තැනට පැමිණ ඇත්තේ ෆේස්බුක් (facebook) සහ අන්තර්ජාලය යි.

තරුණ රැල්ලේ සමාජ මාධ්‍ය භාවිතය

පර්යේෂණ දත්ත ඒ ඒ වයස් කාණ්ඩ අනුව විශ්ලේෂණය කළ විට, වයස අවුරුදු 18 - 24 කාණ්ඩයෙහි පසු වන්නන්ගේ ප්‍රවෘත්ති ලබාගැනීමේ ප්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ ෆේස්බුක් වන අතර ඉන් පසු ස්ථානවලට පිළිවෙළින් පුද්ගලික රූපවාහිනී මාධ්‍ය සහ අන්තර්ජාලය පැමිණ තිබේ.

Image copyright CPA

ශ්‍රී ලංකාවේ සමාජ ජාල භාවිතයෙන් සිය තොරතුරුමය අපේක්ෂා ඉටු කර ගන්නට කටයුතු කරන්නන් ගේ අවශ්‍යතාත්, ඔවුන් ගෙන් සිදු කෙරෙන සමාජ බලපෑමෙහි ස්වභාවය පිළිබඳත් මෙම පර්යේෂණයෙන් මනාව හෙළිදරව් කර ගැනීමට හැකි වූ බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ඉරෝමි පෙරේරා පවසන්නේ.

කාලීන සිදුවීම් පිළිබඳ පුවත් ලබා ගැනීමේ දී ඉහත කී තරුණ කාණ්ඩයේ පසු වන්නන් ගෙන් බොහෝ දෙනකු ගුවන් විදුලිය, රූපවාහිනිය හා පුවත්පත් වැනි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සෘජු ව පරිහරණයට නොපෙළඹීම මෙහි දී අනාවරණය කර ගත් වැදගත් කරුණක් බව පර්යේෂණ වාර්තාව පෙන්වා දෙයි.

මෙම වයස් කාණ්ඩයේ පසු වන්නන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පරිහරණයට යොමු වන්නේ ද ස්මාර්ට් දුරකතන, ෆේස්බුක් හෝ සංවාද යෙදුම් (chat apps) හරහා බව නව මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන පවසයි.

'සමාජගත වන හා ජන ගත වන මාධ්‍ය අන්තර්ගතය ජනතාව ග්‍රහණය කර ගන්නේ කෙලෙස ද, එයට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙස ද, ඒවා බෙදා හදා ගන්නේ කෙලෙස ද යන්න පිළිබඳ අප සතුව මෙතෙක් ප්‍රමාණවත් දත්ත තිබුණේ නෑ. තොරතුරු ලබා ගැනීමට මෙන් ම බෙදා හදා ගැනීමට නව මාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය භාවිත කිරීමේ වර්ධනයක් පැහැදිලිව සිදු ව ඇති බවට මේ පර්යේෂණ වාර්තාවෙන් තොරතුරු හෙළි කරනවා. ' යි ගුණවර්ධන කියා සිටියි.

විශ්වසනීය තොරතුරු

සමාජ ජාල මාධ්‍ය හරහා ගලා යන තොරතුරු ප්‍රවාහයෙන් තමන් විශ්වාස කරන්නේ කුමක් ද යන්න පිළිබඳ තීරණය කිරීමේ දී සෙසු සගයන් ගේ නිර්දේශ මෙහි දී ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කරන බවට සාධක වයස අවුරුදු 18 - 24 කාණ්ඩයේ පසු වන්නන් අතර දැකිය හැකි වී යැයි මේ වාර්තාව පෙන්වා දෙන බවත් නාලක ගුණවර්ධන පවසයි.

Image copyright CPA

මැතිවරණ කාල පරිච්ඡේදයන්හිදී වැඩිම විශ්වාසයක් තිබෙන තොරතුරු ලබා ගැනීමේ මූලාශ්‍ර සම්බන්ධයෙන් 18.3% ක අදහස වී ඇත්තේ අන්තර්ජාලය ඔවුන්ගේ ප‍්‍රධානතම සහ විශ්වසනීය තොරතුරු මූලාශ්‍රය වූ බවයි.

තවත් 16% ක ගේ අදහස වී ඇත්තේ ෆේස්බුක් හරහා විශ්වසනීය ලෙස තමන් තොරතුරු ලබා ගන්නා බවයි.

පුද්ගලික රූපවාහිනී මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම තමන්ගේ ප්‍රධාන හා විශ්වසනීය මූලාශ්‍රය බවට 40.3% ක් පිරිස පෙන්වා දී ඇත.

මහජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීමට රජයේ ඇමතිවරුන් සමාජ ජාල මාධ්‍ය භාවිත කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව මෙම වාර්තාවට අදහස් දක්වා ඇති 42.2% ක් දෙනා ගේ විශ්වාසය වී ඇත.

26.2% ක් දෙනා එය තරමක් දුරට අවශ්‍ය කාරණයක් බවට විශ්වාසය පළ කර ඇත.

අන්තර්ජාල භාවිතය

'අපේ දේශපාලකයන් අද බොහෝ විට සමාජ ජාල මාධ්‍ය භාවිත කරන්නේ තම දේශපාලන ව්‍යාපාරයට අදාළ තොරතුරු හා රූප බෙදා හැරීමට පමණයි. එහිදී සංවාදයක් සිදු නොවන තරම්. මේ හරහා ගනුදෙනුවක් හෙවත් දෙපසට ම සිදු වන සන්නිවේදනයක් දැකිය හැක්කේ ඉතා කලාතුරකින්. වයස අවුරුදු 18 - 24 කාණ්ඩයේ පසු වන තරුණ ඡන්දදායකයන් මේ වාර්තාවෙන් ඉඟි කර තිබෙන්නේ සිය අවධානය හා ඡන්දය දිනා ගැනීමට නම් සමාජ ජාල මාධ්‍ය භාවිත කරන දේශපාලකයන් සංවාදශීලී බවින් මෙන් ම ඇහුම්කන් දීම අතින් ද මෙයට වඩා සැලකිලිමත් විය යුතු බව' යැයි නාලක ගුණවර්ධන පවසයි.

පර්යේෂණයේ දී අදහස් පළ කළ අය ගෙන් 60.4% ක් දෙනා ප්‍රකාශ කර ඇත්තේ දත්ත භාවිතය වෙනුවෙන් වැඩිපුර ගෙවීමේ හැකියාවක් තිබේ නම් තම අන්තර්ජාල භාවිතය වැඩි වනු ඇති බව යි.

Image copyright PA

අන්තර්ජාල පරිහරණය වැඩි කිරීම සඳහා අදාළ අන්තර්ජාල සැපයුම්කරුවන්ට කුමක් කළ හැකි ද යන කාරණය විමසූ විට, 40.2% ක් ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ සම්බන්ධතාවේ වේගය වැඩි කළ යුතු බවයි.

තවත් 37.5% ක ගේ අදහස වූයේ පැකේජයට ලබා දෙන දත්ත ප්‍රමාණය ඉහළ දැමිය යුතු අතර 35.5% ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත්තේ මාසික ගාස්තු අඩු කරන්නේ තම අන්තර්ජාල භාවිතය ඉහළ දමන බවයි.

වැඩි වශයෙන් සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් තොරතුරු සහ වෙබ් අඩවි පවතින්නේ නම් තම අන්තර්ජාල පරිහරණය වැඩි වන්නේ දැයි නගන ලද ප්‍රශ්නයකට 57.1% ක් දෙනා එයට එකඟත්වය පළ කර ඇත.

අදහස් දැක්වූ වන් ගෙන් 63.1%ක් දෙනා පවසා ඇත්තේ ඔවුන්ට විශ්වාස කළ හැකි ප්‍රවෘත්ති මාධ්‍ය එකකට වඩා වැඩියෙන් ඇති බවත්, 25.3% කගේ අදහස වී ඇත්තේ සියලු ප්‍රවෘත්ති මාධ්‍යයන් තමන්ට එක හා සමාන බවත් ය.

කිසිදු ප්‍රවෘත්ති මාධ්‍යයක් කෙරේ තමන්ට විශ්වාසයක් නොමැති බවට 10% ක් දෙනා ප්‍රකාශ කර ඇත.