ධීවර විරෝධය නිසා දුම්රිය නවතී

නීති විරෝධී දැල් පන්න ක්‍රම භාවිතයට විරෝධය පළ කිරීම සඳහා ධීවරයෝ වයඹ මුහුදු තීරයේ විරෝධතාවයක යෙදී සිටිති.

උද්ඝෝෂණය සඳහා වීදි බැස සිටින ධීවරයෝ කොළඹ හලාවත දුම්රිය මාර්ගය අවහිර කිරීම නිසා දුම්රිය ගමනාගමනය ද ඇණ හිට තිබේ.

නීති විරෝධී ධීවර පන්න ක්‍රම වන ලයිලා හා සුරුක්කු දැල් සඳහා අලගුදු පන්න යන නාමය ලබා දෙමින් අවසර ලබා දීම පසුගිය සතියේ සිදු කර ඇති බවයි ධීවරයන් පවසන්නේ.

ධීවර ඇමති

මීට ප්‍රතිචාර දක්වමින් ධීවර ඇමති මහින්ද අමරවීර කියා සිටියේ තහනම් පන්න ක්‍රම සඳහා අවසර ලබා දීමට කටයුතු කර නැති බවයි.

‘තහනම් පන්න ක්‍රම පිළිබඳ රට තුළ විරෝධතාවයන් පැවැත්වෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අනුව මම පැහැදිලිව කියන්න කැමතියි අපි මේ වන විට තහනම් කර තිබෙන ලයිලා සහ සුරුක්කු දැල් ලබා දීමේ කිසිම සුදානමක් නෑ .එය පෙබරවාරි 21 සිට තහනම් කර තිබෙනවා .මේ තහනම පටන් ගත්තෙත් මගේ කාල පරාසය තුළමයි.’ ඔහු පැවසීය.

ඇතැම් සංවිධාන දේශපාලන වාසි ලබා ගැනීමට යත්න දරන බවට පෙනෙන්නට ඇති බවයි ධීවර ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ.

‘මේ පිළිබඳව සියලුම දේ කර තිබියදීත් සමහර සංවිධාන දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කටයුතු කරන බව පේනවා. සමහර දේශපාලනඥයනුත් මෙහි මුලිකත්වය ගෙන තිබෙනවා. මම ඉතාමත් ඕනෑකමින් කියා සිටිනවා මේ තහනම් කරපු පන්න ක්‍රම නැවත ලබාදීමට කිසිම සුදානමක් නෑ. ඒ වගේම මේ තහනම් කිරීම් කරන්නේ නාරා ආයතනය දෙන නිර්දේශ අනුව. දේශපාලන තීරණ මත තහනම් කිරීම හෝ තහනම ඉවත් කිරීම කරන්නේ නෑ.’ ඇමතිවරයා ප්‍රකාශ කළේය.