ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සරත් ෆොන්සේකා සන්ධාන ගත වෙයි

අරවින්ද තිසර රතුවිතානබීබීසී

තම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු එක්සත් ජාතික පෙරමුණ යටතේ කර ගෙන යාමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුනු බවත් හෙට (03) අරලියගහ මන්දිරයේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම් තිස්ස පෙරේරා බීබීසීයට පැවසීය.

නායක තුමා

‘අපේ දේශපාලනික හේතුන් මත පසුගිය මැතිවරණය තනිවම තරඟ කළා. අපිට ඇරයුම් ලැබුන එක්සත් ජාතික පක්ෂයෙන්. අපේ නායක තුමාත් ඒ ගැන දරන මතය බොහොම ශුභාවාදියි. ඉන් පසුවයි මේ තීරණයට එළඹුණේ. හෙට සවස තුනට අරලියගහ මන්දිරයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කරනවා.’ මහ ලේකම්වරයා පැවසීය.

මීට පෙර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යහපාලනය විවේචනයට ලක් කිරීම පිළිබඳව බීබීසීය විමසු විට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ නිවැරදි කිරීමේ චේතනාවෙන් එම විවේචනයන් සිදු කළ බවයි.

විවේචන

‘සියලු විවේචන නිවැරදි කිරීම සඳහා පමණයි. ඒ පිළිබඳව අවශ්‍ය ආයතන සොයා බලයි. අපේ යුතුකම ඒවා පෙන්වා දීම. ඒවා පොදු චෝදනා නොවෙයි, පෞද්ගලික චෝදනා.’ මහ ලේකම් තිස්ස පෙරේරා ප්‍රකාශ කළේය.

පසුගිය මැතිවරණයට තනිවම තරඟ කිරීමට පෙළඹුණේ උපායශීලී තීරණයක් මත නොවන බවයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ලේකම්වරයා අවධාරණය කරන්නේ.