කෙහෙළිය යාපනය අධිකරණයේ

හිටපු අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල නීතිඥයෙකු මාර්ගයෙන් අද, බදාදා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහු පැමිණ සිටියේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් අනුවයි.

නමුත් භාෂා පරිවර්තකයෙකු නොමැතිකම නිසා හිටපු අමාත්‍යවරයාගෙන් සාක්කි සටහන් කරගැනීමක් සිදු වූයේ නැත.

ඒ අනුව සාක්කි සටහන් කර ගැනීම ලබන මැයි මස දහතුන් වෙනිදා තෙක් කල් දමනු ලැබිණ.

Image copyright Getty

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට මෙම වරෙන්තුව මීට මාස හතරකට ඉහත දී නිකුත් කරණු ලැබුවේ ලලිත් හා කුගන් යන දෙදෙනාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සාක්කි දීම පිණිස යාපනය අධිකරණය වෙත පෙනී සිටින මෙන් අවස්ථා දෙකකදීම කළ දැණුම්දීම මගහැරීමෙන් අනතුරුවයි.

ලලිත් හා කුගන් යන දේශපාලන ක්‍රියාකාරිකයන් දෙදෙනා මීට වසර හතරකට ඉහතදී යාපනයේදී අතුරුදහන් වූයේ යාපනයේ දී.

යුද සමයේ අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් කිරීම සඳහා යමින් සිටින අතරතුරයි එම අතුරුදහන් වීම් සිදු වුණේ.

අතුරුදහන් වූ දෙදෙනා සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කොට තිබුණේ ලලිත් හා කුගන් යන දෙදෙනා රජය බාරයේ සිටින බවයි.

මේ ප්‍රකාශයට අනුව පෙත්සමක් ගොණු කළ ලලිත් හා කුගන් යන දෙදෙනාගේ පාර්ශ්වකරුවන් ලලිත් හා කුගන් ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබේ. අදාල පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී මේ පිළිබදව අධිකරණයට සාක්කි ලබා දීමට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට කැඳවීමක් කළ නමුත් ඔහු අධිකරණය මග හැර සිටියේය.

යාපනයේදී මාධ්‍යවේදීන් අධිකරණය මඟහැරීමට හේතු විමසූ අවස්ථාවේදී ඊට සෘජු පිළිතුරක් ලබා දීම හිටපු ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

ලලිත් හා කුගන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ 'භාෂා පරිවර්තකයෙකු නොමැති නිසා මැයි මස දහතුන්වෙනිදාට සාක්කි විමසීම කල් ගිය බැවින් එදිනට හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන' බවයි.