සිසිලියා කොතලාවල අත්අඩංගුවේ

Image copyright Airport.lk

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසුවේය.

සිසිලියා කොතලාවල ගල්කිස්ස සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවල ඇති නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඇය අත් අඩංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන නිලධාරීන් හට අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.

අධිකරණ වෙත

ඒ අනුව, විදේශ ගතව සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේදී ඇය අත්අඩංගුවට ගෙන ආගමන විගමන බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

හෙට, සිකුරාදා අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඇය බොහෝ විට ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවත් සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර තවදුරටත් පැවසුවේය.