ජාතික නිදහස් සමරුවට එරෙහිව උතුරේ විරෝධතා

ජාතික නිදහස් සමරු දින උළෙලට එරෙහිව යාපනයේ සහ වවුනියාවේ තැනින් තැන විරෝධතා රැසක් පැවැත්විණ.

විරෝධතා කරුවන් කලු රෙදි පටිවලින් සිය මුහුණු වසා ගෙන සිටි අතර විරෝධතාවයන් පැවති ඇතැම් ස්ථාන වල කලු කොඩිද දමා තිබෙණු දක්නට ලැබිණ.

යුද සමයේදී අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබදව සොයා බැලීමේ සංවිධානය, වැන්දඹු කාන්තාවන්ගේ සංගමය, පුරවැසි කමිටු ඇතුළු සංවිධාන කීපයක් විසින් මෙම විරෝධතා දියත් කොට තිබුණේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන තුරු දෙමළ ජනතාවට ජාතික නිදහස් උළෙල සැමරීමට නොහැකි බව පවසමින්.

පුරවැසි කමිටුවේ සභාපති එස්.සහායගම් කියා සිටියේ දෙමළ ජනතාව යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පූර්ණ වාර්තාවක් රජය මගින් රටට හෙළි කළ යුතු බවයි.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි සියලු අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතු බවත්, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවත්, යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත් සියලු කාන්තාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට රජය පියවර ගත යුතු බවත්, ඔහු පෙන්වා දුන්නේ දෙමළ වැසියන් මුහුණ පා සිටින ප්‍රශ්න වශයෙන්.

මෙම ප්‍රශ්නවලට ස්ථිර සාර විසඳුමක් ලැබෙන තුරු දෙමළ ජනතාවට සතුටින් යුතුව ජාතික නිදහස් දිනය සැමරීමට නොහැකි බව කියා සිටි විරෝධතා කරුවෝ වත්මන් ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩකඩ සලසා නැති බවට චෝදනා එල්ල කොට සිටියහ.