ඉන්දීය විදේශ ඇමතිනිය සුළු පක්ෂ නායකයන් හමු වෙයි

Image copyright manoganesan
Image caption 'මොකද පසුගිය කාලයේ මෙවැනි දේවල් වෙන කොට ජාතික ප්‍රවාහයට අපට ඇතුළු වෙන්න බැරි තත්වයක් තිබුනා.දැන් රට තුළ එවැනි තත්වයක් නැහැ කියා අපි දැන්වූවා'

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සමාලෝචනයට ලක් කරනු වස් ඉන්දීය විදේශ අමාත්‍යවරිය සුෂ්මා ස්වරාජ් ශ්‍රී ලංකාවේ සුළු පක්ෂ නායකයන් හා සාකච්ඡා පවත්වා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් කියා සිටියේ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමග පැවති සාකච්ඡාව සතුටුදායක වූ බවයි.

සුළු ජාතීන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය හා තවදුරටත් සාකච්ඡා කරන බවට අමාත්‍යවරිය ප්‍රතිඥා දුන් බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පැවසුවේය.

ජාතික ගැටලුවට විසඳුම් සොයනු වස් බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති වර්තමාන ආණ්ඩුව ඉදිරියටත් ඒ සඳහා කැප වෙනු ඇති බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.

'එසේ ගෙනෙන තීන්දුව රටේ ජනතාවට හොද තීන්දුවක් විය යුතුයි. ඒ සඳහා ඉන්දියාව උදව් ලබා දිය යුතුයි,' ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී නීති විරෝධී මසුන් මැරීමේ නිරත තමිල්නාඩු ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරිය හා සාකච්ඡා කළ බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

'ඒක ඉන්දියාවට තමයි නවත්වන්න පුළුවන්. මේ ගැටලුව නිසා අපේ ධීවරයෝ ගොඩක් දුක් විඳිනවා. ප්‍රමාද නොවී ඒ සඳහා පියවර ගත යුතු බව අපි ඉල්ලා සිටියා,' ඔහු සඳහන් කළේය.

මුස්ලිම් කොංග්‍රසය

Image copyright Sushma Swaraj
Image caption වත්මන් ආණ්ඩුව යටතේ ජාතික ප්‍රශ්නයට සියලුම ජනතාවට එකඟ විය හැකි ආකාරයේ ස්ථීරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ඉන්දීය ආණ්ඩුවේ විශ්වාසය වී ඇති බව විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් පැවසීය

ඉන්දීය විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගද සාකච්ඡා පවත්වා ඇත.

ජාතික ප්‍රශ්නය සහ ඒ සඳහා මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරිය සිය පක්ෂය හා සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් කියා සිටියේ.

'විශේෂයෙන් දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුනාද, යම් කිසි ප්‍රගතියක් අත වෙලා තිබේද යන්න පිළිබඳ සාකච්ඡා වුනා' ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව යටතේ ජාතික ප්‍රශ්නයට සියලුම ජනතාවට එකඟ විය හැකි ආකාරයේ ස්ථීරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ඉන්දීය ආණ්ඩුවේ විශ්වාසය වී ඇති බවත් ඒ සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බවත් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් පැවසුවේය.

වතුකරයේ දෙමළ ජනතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරිය පැවසූ බවයි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

Image copyright Getty
Image caption විදේශ ඇමතිවරිය පවත්වන සාකච්ඡා වලට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බලය විමධ්‍යගත කරනු ලැබීම වැනි කරුණු ඇතුලත් විය හැකි බවයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය දක්වන අවධානය හා සමානව වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වතුකරයේ දෙමළ ප්‍රජාව අවධානයෙන් පසු වන බව තමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියට දන්වා සිටි බවත් අමාත්‍ය මනෝ ගනේෂන්පැවසීය.

'මොකද පසුගිය කාලයේ මෙවැනි දේවල් වෙන කොට ජාතික ප්‍රවාහයට අපට ඇතුළු වෙන්න බැරි තත්වයක් තිබුනා. දැන් රට තුළ එවැනි තත්වයක් නැහැ කියා අපි දැන්වූවා' අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේය.