ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජා මහකොමසාරිස් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් උතුරු සහ නැගෙනහිර පලාත්වල අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමුවිය.

සිය සිව් දින නිල සංචාරයේ දෙවන දිනය අරඹමින් යාපනයේ සංචාරයක නිරත වූ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එහිදී උතුරු පළාත් මහඇමති සීවී විග්නේශ්වරන්, ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර සහ සිවිල් ක්‍රියාධරයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව එක්සත් ජාතීන්ගේ නිලධාරීහු පවසති.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සමග පැවති හමුවේදී අදහස් දැක්වූ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කියා සිටියේ යාපනයේදී තමා වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළ කරන බවයි.

උතුරු පළාත් මහඇමතිවරයා සමග සාධනීය සාකච්ඡාවක නිරත වූ බවත් ඔහු කියා සිටියේය.

'සාකච්ඡාව තුළ ප්‍රධාන වශයෙන් අවදානයට ලක් වුනේ පළාත මුහුණ දෙන අභියෝග පිළිබඳවයි. ඒ වගේම මේ පරිපාලනය සමග පවතින සැලසුම් සහ මේ දක්වා අත් කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙනුත් සාකච්ඡා කළා. රඳවාගෙන සිටින සහ අතුරුදහන් වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින පිරිස් සහ ඒ වගේම ඉඩම් නැවත ලබා දීම ගැනත් කතා කළා' ඔහු පැවසීය.

එල්ටීටීඊ සැකකරුවන්

යාපනයේ පැවති සාකච්ඡාවලදී අවධානයට ලක් වූ ඉහත කී කරුණු සම්බන්ධයෙන් කොළඹට පැමිණ ආණ්ඩුවේ ඉහළ පෙළ බලධාරීන් හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

උතුරේ සංචාරයෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත විය.

ඔහු එහිදී නැගෙනහිර පළාත් සභාවේ මහඇමති හෆීස් නසීර් අහමඩ්, ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු සහ සිවිල් ක්‍රියාධරයන් හමු වූ බව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී ෆාදිල් බකීර් මාකර් බීබීසී සංදේශයට පැවසීය.

අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරන මෙන් ආණ්ඩුවට බලපෑම් කරන ලෙස උතුරේ මහ ඇමතිවරයා කළ ඉල්ලීමක් මහ කොමසාරිස් හුසේන් කුමරු ප්‍රතික්ෂේප කළ බවට මේ අතර මාධ්‍ය වාර්තා පළ විය.

ඒ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේ ෆාදිල් බකීර් මාකර් කියා සිටියේ, සිය සංචාරය පිළිබඳ සියලු තොරතුරු මහා කොමසාරිස්වරයා විසින් ලබන අඟහරුවාදා 09 වනදා පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවේදී හෙළි කරනු ඇති බවයි.