යෝෂිත සම්බන්ධ පරීක්ෂණවලට 'ආණ්ඩුවේ බලපෑමක් නැහැ'

Image copyright Getty
Image caption හිටපු ජනපති පුතු සහ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින සෙසු සැකකරුවන්ගෙන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිර්දෝෂීභාවය අනාවරණය වී නොමැති බවත් නිවේදනයේ සඳහන්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වෙත එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ බලපෑමක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍ය තහවුරු වන ආකාරයෙන් ඉහත කී චෝදනාවට අදාළ පරීක්ෂණ සිදු කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.

යෝෂිත රාජපක්ෂ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සීඑස්එන් නාලිකාවේ සභාපතිවරයා සහ තීරණ ගන්නා ප්‍රධානියා වශයෙන් කටයුතු කොට ඇති බව එම සමාගමේ ගනුදෙනුවලට අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යනය කිරීමේදී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

හිටපු ජනපති පුතු සහ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින සෙසු සැකකරුවන්ගෙන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ නිර්දෝෂීභාවය අනාවරණය වී නොමැති බවත් නිවේදනයේ සඳහන්.

සියලුම විමර්ශන කටයුතුවලින් අනතුරුව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයා වෙත භාර දීමට නියමිතව ඇති බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා පවසයි.

'දේශපාලන පළිගැනීමක්'

Image copyright Sagala Rathnayaka
Image caption මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි නීතියේ ආධිපත්‍ය තහවුරු වන ආකාරයෙන් ඉහත කී චෝදනාවට අදාළ පරීක්ෂණ සිදු කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්

සීඑස්එන් සමාගමට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් ලක්ෂ 2340 ක් යොදවා තිබූ අතර සමාගමේ කොටස් නිකුතුවෙන් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 70 ක් පමණක් යැයි විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

ඉතිරි ප්‍රාග්ධන මුදල් ලබාගත් ආකාරය සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ගනු ලැබූ මුදල් බව හෙළි වූ බව මීට ඉහතදී පොලිසිය කියා සිටියේය.

මුදල් විශුද්ධිකරණයට අමතරව කූට ලේඛන සැකසීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙන්ම රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ චෝදනාත් විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී ඇත.

මේ අතර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය විසින් හඳුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර