ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විහාර දේවාලගම් පනත: 'නහය කපා ගැනීමක්'

තිසර අරවින්ද රතුවිතාන

බීබීසී

මහනුවර දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමය දූෂිත බව පවසමින් ඒ සඳහා ඡන්දය හිමි නිළමේවරු සියලු දෙනා ඉන් ඉවත් කිරීම සුදුසු නොවන බව පුරාණ දේවාලවල බස්නායක නිළමේවරු පවසති.

තම ඡන්ද අයිතිය අහෝසි කිරීමට ගත් තීරණය, ලංකාතිලක විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ධුරය හොබවන නීතීඥ ප්‍රියන්ත අමුණුගම හඳුන්වන්නේ ‘මුහුණ කැත නිසා නාසය කපා ගැනීමක්’ ලෙසිනි.

‘දූෂිතයි කියන එක මිනිස්සුන්ට ඕන ආකාරයකට අර්ථ නිරූපනය කරන්න පුළුවන්. නමුත් ඒක වෙනුවෙන් සංශෝධනයක් කරනවා කියල ඡන්දෙ දීමට සුදුසු සියලු දෙනාම නෙරපන එක නියම සංශෝධනයක් කියල මට හිතෙන්නේ නැහැ. මුහුණ කැතයි කියල නහය කපා ගත්තොත් මොකද වෙන්නේ. ඊට වැඩිය කැතක්නේ වෙන්නේ. එවැනි සංශෝධනයක් තමයි මෙතැනදී වෙලා තියෙන්නේ.’ ඔහු පැවසීය.

Image copyright AP

මීට එරෙහිව උඩරට පුරාණ දේවාලවල බස්නායක නිළමේවරු පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළහ.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගැනෙන ඡන්ද ක්‍රමය දූෂිත වී ඇති බවට චෝදනා එල්ල වෙද්දී කරළියට එන මේ සංශෝධිත පනතින් ඒ සඳහා වූ ඡන්දදායකයන් තුන්සිය දෙනෙකුගේ පමණ ඡන්ද බලය අහෝසි කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහනුවර අස්ගිරි මහ විහාරයීය කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ බස්නායක නිළමේවරුන්ගේ ඡන්ද අයිතිය ගැන විරෝධතාවක් නැති නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී ඇති ඡන්ද අයිතිය අහෝසි කළ යුතු බවයි.

‘මේ ප්‍රදේශයේ අද ඉන්න ප්‍රාදේශීය නිලධාරියා හෙට මාරුවෙන්න පුළුවන්. ඔහු ඊට පස්සේ වගකීමෙන් බැඳෙන්නේ නැහැ. සෘජුවම පේන දෙයක් තමයි රාජ්‍ය නිලධාරීන් මේකට අවශ්‍යය නැතැයි කියන එක.’ එහිමියෝ පැවසූහ.

වැඩවසම් රාජකාරි

පවතින විහාර දේවාලගම් පනත තුළින් වැඩවසම් රාජකාරි ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනාව ලංකාතිලක විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධුරය හොබවන නීතිඥ ප්‍රියන්ත අමුණුගම ප්‍රතික්‍ෂේප කරයි.

‘වැඩවසම් ක්‍රමය කියල කියන්නේ මේ රටේ පැවතුණු චාරිත්‍ර විධි ක්‍රමවලට විරුද්ධ අය දරන අදහසක්. ඕක යුරෝපීය අදහසක්. නමුත් මේ රට පැවතුණේ මේ රටට ආවේණික සංස්කෘතික රටාවක් තුළ.’ ඔහු පවසයි.

කුලභේදය

එමගින් කුලභේදය තවදුරටත් පවත්වාගෙන යන බවට එල්ල වන චෝදනා හමුවේ ඔහු පවසන්නේ කුළය පදනම් වන්නේ කරන රාජකාරිය මත බවයි.

‘ඔය විදියට ගත්තොත් එහෙම කුල භේදය තියෙන්නේ මේ රටේ පමණක් නෙමෙයි. ඒක වළක්වන්න බැහැ. සමස්ත මිනිස් වර්ගයාම එකයි කියන එක මමත් පිළිගන්නවා. ඒත් කුළය කියන එක ඉස්සරහට දාගෙන රාජකාරිය නොකර සිටීම තමයි මට තියෙන ප්‍රශ්නය.’ බස්නායක නිලමේ, නීතිඥ ප්‍රියන්ත අමුණුගම ප්‍රකාශ කළේය.

හඬ පටය අමුණා ඇත.