ජිනීවා යෝජනාව 'සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි'

Image copyright UN

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරනු ලැබූ යෝජනාව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරුගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි.

විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා අද අඟහරුවාදා උදෑසන කොළඹදී මුණගැසීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

"සාකච්ඡාව සුහදව පැවැත්වුණා. අපි ඉල්ලා සිටියා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේ රටේ නිසි සංහිඳියාවක් ඇති වීමට එය වැදගත්" ඔහු පැවසීය.

එල්ටීටීඊ සැකකරුවන්

Image copyright UN

ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් දේශීය අධිකරණ යාන්ත්‍රණයක් යටතේ පවත්වන විමර්ශනයට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් විනිසුරුවරුන්ගේ සහාය ලබා ගත යුතු බවයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාවේ සඳහන් වූයේ.

උතුරේ ජනතාවගේ ඉඩම් ගැටළු, අතුරුදහන් වූවන් සම්බන්ධ පරීක්ෂණ මෙන්ම අත්අඩංගුවේ පසු වන එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම යන කරුණු තමන් මහකොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළ බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවේ පසු වන එල්ටීටීඊ සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් උතුරේ මහා ඇමතිවරයා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ප්‍රතික්ෂේප කළ බවට පල වන මාධ්‍ය වාර්තා ගැන විමසීමේදී විපක්ෂනායකවරයා පැවසුවේ ජාත්‍යන්තර නීතිය අනුව එවන් පොදු සමාවක් ලබාදීමේ හැකියාවන් නොමැති බව මහකොමසාරිස්වරයාගේ අදහස වූ බවයි.

ජනපති සහ අගමැති

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වී සාකච්ඡා පැවැත්වීය.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ජනපතිවරයා හමු වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර