පරීක්‍ෂණය ශ්‍රී ලාංකික යාන්ත්‍රණයක් -මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව කෙරෙන පරීක්ෂණය ශ්‍රී ලාංකික යාන්ත්‍රණයක් විය යුතු බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා පවසයි.

මෙම චෝදනා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් යෝජනා කර නැති බවයි මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හරහා පරීක්ෂණයක් සිදු කිරීම ප්‍රායෝගික නොවන බව ද මහ කොමසාරිස්වරයා තවදුරටත් පැවසීය.

ඔහු මෙම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ කළ සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී යි.

ඉඩම්

කෙසේ නමුත් හමුදාව අල්ලා ගෙන ඇති ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට ලබා දීම වේගවත් කළ යුතු බව සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු අවධාරණය කරයි.

එමෙන්ම ආරක්‍ෂිත හේතුන් මත රඳවා ගෙන සිටින පිරිස් නිදහස් කිරීමට හෝ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ආණ්ඩුව කඩිනම් ක්‍රමවේදයක් සොයා ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ශුභවාදී බලපෑමක්

කෙසේ නමුත් ජාතික සංහිඳියාව සඳහා නව රජය ගෙන ඇති සංකේතාත්මක පියවර මගින් රටේ ප්‍රජාවන් අතර සබඳතාවලට ශුභවාදී බලපෑමක් ඇති කර තිබෙන බවයි මහ කොමසාරිස්වරයා පවසන්නේ.

නිදහස් දිනයේ දී භාෂා දෙකින් ම ජාතික ගීය ගායනා කිරීම, උතුරේ මහ ඇමතිවරයා යාපනේ නාග විහාරයට යාම, තමා ඝාතනය කිරීමට සැලසුම් කළ එල්ටීටීඊ සිරකරුවාට ජනාධිපතිවරයා සමාව දීම වැනි පියවර ඔහු මෙහිදී උදාහරණ වශයෙන් දැක්වීය.