කථානායකට මරණ තර්ජන

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ පිල පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි බලකිරීම සම්බන්ධව තමන්ට මරණ තර්ජන එල්ල වූ බව කථානායක කරු ජයසූරිය පවසයි.

පාර්ලිමේන්තුව තුළ තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවේ විරෝධතාවයක නිරත වූහ.

කෙසේ වෙතත් කථානායක කරු ජයසුරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ.

මේ සම්බන්ධයෙන් අද, බදාදාත් පාර්ලිමේන්තුවේ විරෝධතා මතු වූ අතර එම අවස්ථාවේ දියි කථානායකවරයා මේ සම්බන්ධයෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව පැවසුවේ.

‘මට අපහාස කරලවත්, මට ඊයේ රෑ මරණ තර්ජනත් ආවා මේක කරේ නැත්නම් මරණවා කියලා, ඒවාට මම බයවෙන්නේ නැහැ”

කථානායකවරයා පැවසුවේ එලෙස නව කණ්ඩායමක් ලෙස පිළිගැනීමට නම් එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමෙන් ඉවත්වනවාද නැත්ද යන්න තීරණය කල යුතු බවයි.

‘එහෙම වෙනත් කණ්ඩායමක් ඉන්නව නම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න බැහැ කියලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය, දැන් ඔබතුමන්ලට තියෙන්නේ නිදහස් පක්ෂය සමග සාකච්චාකර ඉන්නවද නැත්ද කියන තීරණය අපිට කියන එක’

මෙහි දී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කථානායකවරයාට චෝදනා කළේ ඔහු හිතුවක්කාර තීරණ ගන්නා බවටයි. ඔහුගේ තර්කය වුයේ තමන්ට ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කල හැකි බවයි.

මේ අතර ථේරවාදී භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ . එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රනිල්ගෙන් අහන්න

මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බදාදා දිනයන්හි පැය භාගයක් අගමැතිවරයාට සෘජුව ප්‍රශ්න යොමු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම අද ආරම්භ විය .

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන 'අගමැතිගෙන් අහන්න' යන තේමාවෙන් යුතු සම්ප්‍රදාය මත පදනම්වයි මෙම අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන්නේ.

ඒ අනුව අද දින මන්ත්‍රීවරුන් අගමැතිවරයාට ප්‍රශ්න ගණනාවක් යොමු කළ අතර එයට අගමැතිවරයා පැය භාගයක කාලයක් පිළිතුරු ලබා දීම සිදු කළේය.