යෝෂිත රාජපක්ෂ 25 තෙක් රිමාන්ඩ්

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා ලබන 25 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

CSN නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා පසුගිය මස 30 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී අද දිනය දක්වා ඔවුන් බන්ධනාගාර ගත කරන ලදී.

නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේ සැකකරුවන් ඇප ඉල්ලා සිටියත් අධිකරණය විසින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා තෙක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.

අද දින නඩු විභාගය සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගිවී සිටියහ.

මුදල් විශුද්ධිකරණයට අමතරව කූට ලේඛන සැකසීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙන්ම රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ චෝදනාත් සැකකරුවන්ට එරෙහිව එල්ල වී තිබේ.