ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අපිව නෙරපන්න තරම් නායකතුමා අධර්මිෂ්ඨ නැහැ'

තිසර අරවින්ද රතුවිතාන

බීබීසී -ලන්ඩන්

තමා ඇතුළු පිරිස පක්‍ෂයෙන් නෙරපා දැමීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ‘අධර්මිෂ්ඨ’ වී නැති බව කුමාර් වෙල්ගම හිටපු ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව බීබීසීයට කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කටයුතු කරනු ඇති බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

‘අපි පැනල නැහැ'

Image copyright SLFP

‘පක්ෂයෙන් නෙරපන්න ඒ අය තීරණය කළොත් මට කරන්න දෙයක් නැහැ. මම අවුරුදු 34ක් ආසනේ සංවිධායකවරයෙක්. මෙතන මං තරම් ජ්‍යෙෂ්ඨ කවුරුත් නැහැ.’

‘අපි පක්ෂෙන් එහෙට මෙහෙට පැනල නැහැ. ඕක ඇතුළේ දැන් ඉන්න හුඟක් අය ඡන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු අයනේ. අපි වගේ පිරිසිදු, එක දිගට අවුරුදු 34ක් ශ්‍රීලනිපයේ හිටපු අය ඔතන නැහැ. මම දන්නවා අපිට එහෙම අගතියක් කරන්නේ නැහැ කියල.’ ඔහු පැවසීය.

කෙසේ නමුත් පක්ෂය එවැනි තීරණයක් ගතහොත් ‘ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙකු හැටියට’ තමන්ට ඕනෑම තීරණයක් ගත හැකි බවයි හිටපු ඇමතිවරයා කියා සිටියේ. හඬ පටය අමුණා ඇත.

Image copyright bbc

විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී සියලු දෙනාට ම නීතිය එක සමාන විය යුතු බවයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා සමඟ නව පක්ෂයක් පිහිටුවා ගැනීමට අදහස් කරන්නේදැයි බීබීසීය කළ විමසීමේ දී කුමාර් වෙල්ගම හිටපු ඇමතිවරයා කියා සිටියේ තමන් නෙරපා දැමීමට පක්ෂය තවමත් තීරණයක් ගෙන නැති බවයි.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පිහිටුවන නව කාර්යාලයට තමා ඇතුළු පනස් දෙනෙකු ද සම්බන්ධ වන බවයි කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.