සංහිඳියාවට මත විමසුම යාපනෙන් ඇරඹෙයි

යුද්ධය අවසන් වී වසර කීපයක් ගතව ඇතත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගිය හා සංහිදියාව මෙතෙක් ගොඩ නැගී නැත්තේ යුද්ධය ජය ගැනීම භෞතික වශයෙන් සිදු වූ ක්‍රියාදාමයක් පමණක් නිසා යැයි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර යාපනයේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීම පිණිස ලබාදී ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මහජනතාවගෙන් හා විවිධ සංවිධාන වලින් අදහස් හා යෝජනා ලබා ගැනීම පිණිස රජය මගින් පත් කළ විශේෂ කමිටුව යාපනයේදී සේවාවන් ආරම්භ කිරීම වෙනුවෙන් යාපනය දිසාපති කාර්යාලයේ පැවති උත්සවය අමතමිනුයි.

මනෝරී මුත්තෙට්ටුවගම ඇතුලු එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් මහජනතාවගෙන් හා විවිධ සංවිධාන වලින් ලබාගන්නා අදහස් හා යෝජනා ඇතුළත් කොට බාරදෙන වාර්තාව රජයේ අවසන් යෝජනාව සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවද මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත බාරදීමට ශ්‍රී ලංකා රජය වාර්තාවක් සකස් කරණු ලබන්නේ ජාත්‍යන්තරයෙන් සිදු කෙරෙන බලපෑම් මත නොවන බව කී අමාත්‍යවරයා එම වාර්තාව තුළින් ශ්‍රී ලංකාවේ ගෞරවයත්, ප්‍රජාතාන්ත්‍රීය භාවයත්, මහජනතාවගේ සිතැගියාවනුත් ජාත්‍යන්තරයට රැගෙන යාම බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.

ජාතීන් අතර සංහිඳියාව ගොඩ නගන අතරතුර රටේ ස්ථිර සාමයක් ගොඩනැගීමටද අවශ්‍ය බව පෙන්වා දුන් මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඒ සදහා ක්‍රමවේදයන් ඕනෑ තරම් ඇති නමුත් ඒවා ක්‍රියාත්ම කිරීම අසීරු බවද පැවසීය.

නමුත් එම ක්‍රමවේදයන් ඔස්සේ ගමන් කොට සියලු අභියෝග ජයගෙන කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව ගොඩ නැගිය යුතු බවද පෙන්වා දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය සදහා රටේ මහජනතාවගෙන් අදහස් ලබාගැනීමට ක්‍රියා කළා සේම ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය උදෙසාද මහජන අදහස් ලබාගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සෑම අවස්ථාවකදීම රටේ පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කරණ බවද කියා සිටියා.