ස්වාධීන කණ්ඩායමකට අවසර නැහැ -ශ්‍රීලනිප

Image copyright SLFP

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ දී කටයුතු කිරීම සඳහා අවසර නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මේ බව බීබීසීයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමකට විපක්ෂයේ අසුන් ගැනීමට මධ්‍යම කාරක සභාව අවසරය ලබා දී තියෙනවා. ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කතානායකවරයාගෙන් අවස්ථාව ඉල්ලලා තියෙනවා. මධ්‍යම කාරක සභාව අද පැහැදිලි තීන්දුවක් ගත්තා ඊට අනුමැතිය ලබා නොදීමට. එහෙම ඉඩ දුන්නොත් පක්ෂය දෙකඩ වෙනවා.’ ඔහු පැවසීය.

Image caption ශ්‍රීලනිපයේ කොටසක් ජාතික ආණ්ඩුවට එක් විය

අයුතු නිදහස

මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද පැමිණ සිටි නමුත් ඔවුන් කිසිවෙකු වෙනත් යෝජනාවක් ඉදිරිපත් නොකළ බවත් ඉහත යෝජනාව ඒකමතිකව තීන්දු වූ බවත් මහලේකම්වරයා මාධ්‍යයට පැවසීය.

එමෙන්ම පක්ෂය ලබා දී තිබෙන නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථා පෙනී ගිය හෙයින් මින් ඉදිරියට පක්ෂය තුළ විනය පිළිබඳව තදින් ක්‍රියා කිරීමට ද මධ්‍යම කාරක සභාව යෝජනාවක් සම්මත කර ගත් බවයි පක්ෂයේ මහ ලේකම්වරයා පවසන්නේ.

‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා පක්ෂයේ නායකත්වයට පත් වූ දා පටන් මේ පක්ෂයට විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබුන. ඒ නිදහස යුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථා අපි දැක්ක. ඒ නිසා තමයි පක්ෂය තීන්දු කළේ විනය විරෝධීව කටයුතු කරන අයට තදින් ක්‍රියා කළ යුතු බව’ ඔහු සංදේශයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපයේ කටයුතු දැඩි විවේචනයට ලක් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ වෙනත් කණ්ඩායමක අවශ්‍යතා ඉටු කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර