ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන්වූවන්ට 'නොදුටු සහතිකයක්'

උතුරේ යුද්ධය නිසා හෝ 2004 වසරේ සුනාමි ව්‍යසනය නිසා හෝ අතුරුදහන් වූ අයවලුන් වෙනුවෙන් “නොදුටු සහතිකය” නිකුත් කිරීමට කටයුතු කරන බව ස්වදේශීය කටයුතු නියෝජ්‍ය ඇමති වජිර අබේවර්ධන පවසයි.

මෘත ශරීරය නොලැබුණු අවස්ථාවක යම් පුද්ගලයෙකු මිය ගිය බව සලකා මරණ සහතිකයක් නිකුත් කිරීම ගැටලුවක් වන අතර එම පුද්ගලයාට සම්බන්ධ අයිතිවාසිකම් පිළිබඳ තීරණ ගැනීමේ දී මරණ සහතිකයක් නොමැතිවීම ගැටලුවක් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ “නොදුටු සහතිකය” නිකුත් කිරීම එවැනි අවස්ථාවක දී ලෝකය පිළිගත් ක්‍රමවේදයක් බවයි.

මෙම නොදුටු සහතිකය නිකුත් කිරීම හේතුවෙන් උතුරේ යුද්ධයෙන් අතුරුදහන් වුවන් පිළිබඳ කෙරෙන පරීක්ෂණ වලට බාධා සිදුවන්නේ දැයි සංදේශය විමසු අවස්ථාවේ වජිර අබේවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කිසිදු බාධාවක් සිදු නොවන බවයි.

යුද්ධයෙන් පසු සොයා ගැනීමට නොහැකි වූ පිරිස සංඛ්‍යාත්මකව කොපමණ වේදැයි නිවැරදිව කිව නොහැකි බවයි සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මෘත ශරීරය සොයා නොගත් පුද්ගලයන් සඳහා යම් ආකාරයක සහතිකයක් නිකුත් කිරීම යුක්ති සහගත බව පරණගම වාර්තාව මගින් ද පෙන්වා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.