ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද බිම ජයගත්තත් හද බිම ජය ගත්තේ නැහැ - උතුරේ ආණ්ඩුකාරවරයා

යුද බිම ජය ගත් නමුත් දෙමළ ජනතාවගේ හද බිම ජය ගැනීමට අසමත් වී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

'දැන් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ යුද්ධයෙන් පසු නැවත සංහිඳියා වැඩපිළිවල, ජාතීන් දෙක අතර සුහඳතාවය, ලෙන්ගතුකම, මිත්‍රත්වය ඇති කර ගැනීමේ වැඩපිළිවලක්' උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින්.

සාමයේ පණිවුඩය උතුරට ගෙන යෑම සඳහා ජනපතිවරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවත් ඔහු පැවසීය.

සංහිඳියා වැඩපිළිවලට සමාන්තරව උතුරේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමත් ආණ්ඩුවේ අරමුණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

පසුගිය කාලයේ උතුරේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ දකුණේ ව්‍යාපාරිකයින් විසින් යැයි පවසන ආණ්ඩුකාරවරයා එම පළාතේ සංවර්ධන සහ ආයෝජන කටයුතු සිදු කිරීම උතුරේ ජනතාවටම භාර දිය යුතු බව සඳහන් කළේය.

උතුරු පළාතේ සංවර්ධනය සඳහා ආණ්ඩුව විසින් වෙන් කරනු ලැබූ මූල්‍ය ප්‍රතිපාදනවලින් සියයට හැටක ප්‍රමාණයක් නැවත මහභාණ්ඩාගාරය වෙත නැවත පෙරලා පැමිණෙන බව පැවැසූ ඔහු එවැනි දුර්වලතා නිවැරදි කර ගැනීමට කටයුතු යොදන බව කියා සිටියේය.

හමුදාව සහ ආණ්ඩුව භාරයේ පවතින උතුරේ ඉඩම් මාස හයක් ඇතුළත නැවත නිදහස් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට ලබා දී ඇති උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වැඩිදුරටත් පැවසුවේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ පත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් මාධ්‍යයට පවසා තිබිණ.