වැලන්ටයින් : 'සිංහල බෞද්ධ මතවාදය පැරඩොක්ස් එකක'

Image copyright Getty
Image caption 'අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල වැනි උත්සව වල සම්ප්‍රදායන් වඩ වඩා වාණිජකරණයත් එක්ක දිය වී යද්දී වාණිජකරණය තුළින්ම මතු වන පරමාදර්ශ අපි වැළඳ ගත යුතුයි'

ජාති ආගම්, කුල ගෝත්‍රවලට ලඝු නොවන විශ්ව භාෂාවක් වූ ආදරය සමරනු වස් සුවිශේෂී දිනයක් අවශ්‍යද?

ආදරය සැමරීම සඳහා සුවිශේෂී දිනයක් අවශ්‍ය නැති බවට ඇතැමෙක් තර්ක කරන අතර එදිනෙහි වැදගත්කමක් ඇති බව තවත් සමහරෙක් පවසති.

වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය සැමරීමට විරුද්ධ ඇතැම් කණ්ඩායම් පිළිබඳ අසල්වැසි ඉන්දියාව සහ පාකිස්ථානයෙන් අසන්නට ලැබේ.

ආදරවන්තයන්ගේ දිනය සැමරීම තහනම් කිරීමට පාකිස්තානයේ වයඹ දිග පිහිටි දිස්ත්‍රික්කයක බලධාරීන් කටයුතු කොට තිබිණ.

මේ අතර තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ වැලන්ටයින් දිනය පිටුපස ඇත්තේ හුදෙක් වාණිජ අරමුණක් පමණක් බවයි.

කෙසේ නමුත් වාණිජ අරමුණු මූලික කොට ගත් සමාජයක ආදරය කිරීමට හුරුපුරුදු විය යුතු බවයි, සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න පවසන්නේ.

Image copyright Getty
Image caption ''ඉස්සර පිරිමියා ගැහැණිය යටත් කර ගෙන ආදරය කළේ. දැන් එහෙම බැහැ.''

'අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල වැනි උත්සව වල සම්ප්‍රදායන් වඩ වඩා වාණිජකරණයත් එක්ක දිය වී යද්දී වාණිජකරණය තුළින්ම මතු වන පරමාදර්ශ අපි වැළඳ ගත යුතුයි' ඔහු සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

රාජපක්ෂ පාලනය අනුගමනය කළ 'වසර දෙදහස් පන්සියයක සම්ප්‍රදාය' අවසන් වී ශ්‍රී ලංකාවටද ආදරය වෙනුවෙන් දිනයක් පැමිණ ඇති බවයි සත්හඬ පුවත්පතේ කර්තෘවරයා සඳහන් කළේ.

සිංහල ජාතිකවාදය

''එයින් අදහස් වෙන්නේ මේ දිනයේ පමණක් ආදරය සමරනවා කියන දේ නොවෙයි. සාමූහික වශයෙන් ආදරය සංකේතවත් කරන දවසක්. මේ සඳහා උපුල් ශාන්ත සන්නස්ගල යම් කිසි උත්සාහයක නිරත වුනා වසර හත අටකට පෙර.''

සිංහල බෞද්ධ මතවාදය මුල් කර ගත් ජාතිකවාදය වෙනුවෙන් සමාජ මාධ්‍යය ජාල තුළ පෙනී සිටින බටහිර විරෝධී ආකල්ප දරන ඇතැම් පිරිස් බටහිර කිතුනු සම්ප්‍රදායෙන් ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවලට පැමිණි වැලන්ටයින් දිනය උනන්දුවෙන් සමරන බව පැහැදිලිව දක්නට ලැබෙන්නක්. මෙය පැහැදිලි පරස්පරයක් නොවන්නේද?

Image caption සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න

''ඔව් එතන පැරඩොක්ස් එකක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ ආදරයට පවා ප්‍රතිවිරෝධතා මඟහැරලා තවදුරටත් ජීවත් වෙන්න බැහැ කියන එක. ඉස්සර පිරිමියා ගැහැණිය යටත් කර ගෙන ආදරය කළේ. දැන් එහෙම බැහැ. ඒ නිසා තමයි අන්තර්ජාලය තුළ සිංහල ජාතිකවාදය වෙනුවෙන්ම පෙනී සිටින අයට කිසි ගැටළුවක් නැතිව මේ කතෝලික ශාන්තුවරයා වෙනුවෙනුත් හඬ පොවන්න හැකි වෙලා තියෙන්නේ.''

වැලන්ටයින් දිනය වෙනුවෙන් සිහිවටන, සැමරුම් පත් ඇතුළු වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සහ මිළදී ගැනීමේ වරදක් තමා නොදකින බවත් ඔහු පැවසීය.

"ඒක නරක දෙයක් නෙවෙයි. අපි මෙයට පුරුදු විය යුතුයි. මොකද ලංකාව දැන් ධනවාදයට විරුද්ධ නැහැනේ," සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරත් කියා සිටියේය.

"ලංකාවේ බහුතර ජනයා තවදුරටත් ඉල්ලන්නේ ලංකාවට ප්‍රාග්ධනය එන්න එන්න කියලා. ඔවුන්ට කිව්වත් වැඩක් නැහැ ආදරය වාණිජකරණයට ලක් වෙනවා කියලා. ඔවුන් අහයි අපිට කැමති නම් ඔයා මොනවද කියන්නේ කියලා."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර