ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රිදී සහ ලෝකඩ පදක්කම්වල වටිනාකමක් නැහැ'

දකුණු ආසියාතික ක්‍රීඩා තරඟයකින් ලබා ගන්නා රිදී සහ ලෝකඩ පදක්කම්වල වටිනා කමක් නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසයි.

ක්‍රීඩාවට සමත්කම් දක්වන අය හඳුනා ගෙන ඔවුන් ජාතික සහ අන්තර්ජාතික තලයට ගෙන එම සඳහා සාර්ථක වැඩ පිළිවෙළක් දියත් කිරීමට ක්‍රීඩා සංවර්ධන බලධාරීන් අසමත් වී ඇති බවයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් කියා සිටියේ.

ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

පදක්කමේ පාට

Image copyright SAG2016

‘දකුණු ආසියානු තරඟයක දී ලබා ගන්නා රිදී සහ ලෝකඩ පදක්කම්වල වටිනාකමක් නැහැයි කියල මම බොහොම පැහැදිලිව ඒ වගේම බොහොම නිර්භයව ප්‍රකාශ කරනවා. පදක්කමේ පාට නෙමෙයි එතන තියෙන්නේ. පදක්කමට හිමි තත්වය මොකක්ද කියන එක.’

‘මීටර සීයක් තත්පර දහයකින් දුවන්නත් පුළුවන්. තත්පර විසි පහකින් දුවන්නත් පුළුවන්. නමුත් තත්පර විසිපහකින් දුවන කෙනාටත් රන් පදක්කම ලැබෙන්න පුළුවන් ඊට වඩා නරකට දුවන අය හිටියොත්. ඉතින් ඒ පදක්කමේ වටිනාකමක් නැහැ.’ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසීයට පැවසීය.

විවේචනය

Image copyright f

නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙන ඒම සඳහා අතීතයේ දී හපන්කම් දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වැඩි පිරිස සහයෝගයක් නොදක්වන බවට ද ඔහු චෝදනා කරයි.

‘ඉතාමත් විශිෂ්ඨ දස්කම් දක්වලා ලංකාවට රන් පදක්කම් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ඉන්නවා. නමුත් නවකයන් බිහි කිරීමට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ අතළොස්සක් පමණයි. ඒත් විවේචනය කරන්න නම් ඒ අය ඉතා සතුටෙන් බලාපොරොත්තු සහගතව ඉන්නවා.’ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසයි.

1991 වසර සමඟ සංසන්දනාත්මකව බලන කළ මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 25ක් දිනා ගැනීම සතුටු විය හැකි මට්ටමක් නොවන බව ද ඔහු පැවසීය.

තරඟ ඉසව් දහයකට පමණක් සහභාගී වී රන් පදක්කම් 44ක් ලබා ගැනීමට 1991 දී සමත් වූ ශ්‍රී ලංකාව මෙවර තරඟ ඉසව් 25 කට සහභාගී වී ලබා ගෙන ඇත්තේ රන් පදක්කම් විසි පහක් පමණක් බවයි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසන්නේ.

හඬ පටය අමුණා ඇත.