ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'HIV රාවයක් නිසා මගේ දරුවාට පාසලක් නැහැ'

ටෙම්බෙකා, දකුණු අප්‍රිකාවේ පිටිසර බද ගමක වෙසෙන 12 හැවිරිදි දැරියක්. ඇගේ මාපියන් ඒඩ්ස් රෝගයෙන් මියගිය නිසා වයස අවුරුදු දහයේ, හයේ හා හතරේ පසු වන ඇගේ නැඟණියන් තිදෙනා රැක බලා ගන්නට සිදු වූයේ ඇයටයි.

“ආදායම් මාර්ගයක් නැති එම දැරියන්ට ජීවත් වෙන්නට සිදු ව ඇත්තේ අසල්වැසියන්ගේ පිළිසරණෙන්... ඔවුන් ලබා දෙන පාන් රාත්තලක්, අල ටිකක් වැනි දේවලින්” යැයි පුවත්පත් වාර්තාකරුවකු පැවසුවේ දෙදහස වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවති 13වන ජාත්‍යන්තර ඒඩ්ස් සම්මන්ත්‍රණයේ දීයි.

දකුණු අප්‍රිකා ජනතාව එච්අයිවී ආසාදිතයන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් සාමාන්‍ය සමාජයේ දිවි ගෙවීම පිළිබඳ සමස්ත ලෝකයට ම වැදගත් පාඩමක් ඉන් උගන්වන අයුරුයි අපට මේ කතාවෙන් ඉඟි කෙරෙන්නේ. එච්අයිවී ආසාදිතයන් කොන් නොකොට තමන් වෙසෙන සමාජයේ ඔවුනට ද දිවි ගෙවීමට අයිතියක් පවතින බවට අපට පසක් කර දෙන්නට මේ කතාව සපයන්නේ නොමඳ දායකත්වයක්.

එච්අයිවී ආසාදිතයන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව එසේ කටයුතු කළ ද ශ්‍රී ලංකාවේ ඇතැම් පෙදෙස්වල ජනතාව අතර ‘එච්අයිවී’ යන වදන පිළිබඳව පවා තවමත් පවතින්නේ වැරදි සහගත ආකල්පයක් බව අපට සිහි කර දෙන්නේ ඒ සම්බන්ධයෙන් අප හමුවේ දිග හැරෙන ඇතැම් සිදුවීම් ද සමඟයි.

මේ කතාවේ නායිකාව කුලියාපිටිය නගරයට මඳක් එපිටින් පිහිටි ගමක වෙසෙන දෙදරු මවක්. ඇගේ කතාව මුල්වරට ප්‍රසිද්ධියට පත්වන්නේ ඇය සිය හය හැවිරිදි පිරිමි දරුවා ද සමඟ පැමිණ කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයේ ගේට්ටුව ඉදිරියේ හිඳගෙන උපවාසයක් ඇරඹීමත් සමඟයි.

මෙයට මාස තුනකට පෙර ඇගේ ස්වාමියා අසනීප ව මිය යාමත් සමඟ පැතිර ගිය රාවයක් සමඟ තමන්ට මෙලෙස සමාජයේ කෙනෙහිලි කම්වලට ලක් වන්නට සිදු වූ බවයි ඇය පවසා සිටියේ.

‘මගේ මහත්තයා අසනීප වෙලා මැරුණේ ඒඩ්ස් හැදිලා කියලා බොරු කතාවක් ගම පුරා පැතිරුණා. ඒ ආරංචියත් එක්ක ගමේ මිනිස්සු අපිව කොන් කළා. මේ දරුවා ඉගෙන ගත්ත මොන්ටිසෝරියෙදි පවා මේ වෙනස්කම් සිද්ද වුණා. පස්සෙ මොන්ටිසෝරියෙ උගන්නපු ටීචර් මේකට මැදිහත්වෙලා එම්ඕඑච් කන්තෝරුවට කියලා පුතාගෙ ලේ සාම්පල් පරික්ෂා කරවන්න කටයුතු කළා’ දරුවාගේ මව පවසන්නීය.

දරුවා ගේ රුධිර පරික්ෂණ වාර්තාවේ පැහැදිලි ව සඳහන් වන්නේ ඔහු එච්අයිවී ආසාදිතයකු නොවන බවයි. එය මේ ගැටලුව විසඳා ගැනීමට හෝ පැතිර යන කටකතා නවතා ලන්නට සමත් නොවූ බවයි දරුවා ගේ මව පවසන්නේ.

‘මොන්ටිසෝරියෙන් පස්සෙ දරුවා ඉස්කෝලෙකට ඇතුළත් කරන්න ගියාම ඒ එක ඉස්කෝලෙකින්වත් බාර ගන්න බෑ කිවුවා. මේ විදියට ඉස්කෝල දහයකට විතර ගියා. බැරිම තැනයි කුලියාපිටි ආවෙ කලාප කාර්යාලයට.‘

කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයට තම දරුවා ද කැටුව මේ මව පැමිණියේ පළාතේ ඇමතිවරයකු ගේ නිර්දේශය සඳහන් ලිපියක් ද සමඟින්.

‘මාස දෙකක් තිස්සේ මගෙ දරුවට ඉස්කෝලයක් නෑ. ඉස්කෝලවලින් කියන්නෙ අපට මේ ළමය බාර ගන්න බෑ කියලයි. කලාප කාර්යාලයට යන යන ගාණෙ මට දොස් කියනවා. අපහාස කරනවා.‘ පවතින තත්ත්වය පිළිබඳ දරුවා ගේ මව පවසන්නේ එවැන්නක්.

කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ සමන් විජේසේකර පවසන්නේ මේ දරුවා එච්අයිවී ආසාදිතයකු බවට සමාජයේ පැතිර පවත්නා මතය හේතුවෙන් ඔහුට කලාපයේ පාසලක් ලබා දිය නොහැකි බවයි. ඔහු සඳහන් කරන විසඳුම වන්නේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයෙන් බැහැර වෙනත් පාසලකට දරුවා ඇතුළත් කිරීමයි.

තමන් දැනට දිවි ගෙවන නිවෙසින් බැහැර ව නගරයේ නිවෙස් කුලියට ගෙන, අනෙකුත් වියදම් දරා ගෙන දරුවා ගේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට තමන්ට ආර්ථික ශක්තියක් නැති බවයි දරුවා ගේ මව පවසන්නේ.

ඔවුන් දැනට දිවි ගෙවන ගඩොලින් බැඳ බාගෙට ගොඩ නඟා ඇති පොල් අතු සෙවිළි කොට කපරාරු නොකළ නිවෙසත්, ජීවත්වීම සඳහා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීමත් මේ පිරිස ගේ දුක්ඛිත ජීවන තත්ත්වය පිළිබඳ සපයන්නේ මනා සාක්ෂියක්.

Image copyright

එච් අයි වී, වයිරසයක් නිසා එය වාතයෙන් පැතිරිය නොහැකිවාක් මෙන් ම සාමාන්‍ය හමු වීම් මගින්, ස්පර්ශ වීම් මඟින්, වැඩපොළේ, පාසලේ, හෝ ගමේ එක්ව වැඩ කිරීමෙන් ද ශරීර ගත නොවන බවයි මේ පිළිබඳ අදහස් දක්වන පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්. ආර්. අමරජීව පවසන්නේ.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවානුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මවු කිරි බීම යන ක්‍රම මෙම වෛරසය තවෙකකු වෙත පැතිර යාමට බලපාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

‘යම් කෙනෙක් කවර ආකාරයේ රෝගයකින් පෙළුණත් අපට ඒ තැනැත්තා ගේ සමාජ අයිතීන් උදුරා ගන්නට බෑ. ඒ අය සමාජයෙන් කොන් කරලා පැත්තකට දාන්නත් බෑ. අපට වාගෙම ඒ අයටත් මේ සමාජයේ තියෙන්නෙ සම අයිතියක්. ඉගෙනීමට තියෙන අයිතිය, සමාජයේ වෙනත් අයට හිමි වරප්‍රසාද භුක්ති විඳීමේ අයිතිය ලෙඩක් හැදුණා කියලා නැති වෙන්නෙ නෑ.‘ යන්නයි වෛද්‍ය අමරජීව ගේ මතය වන්නේ.