ආර්ථික ප්‍රතිලාභ සම සේ බෙදී යා යුතුයි -ලෝක බැංකුව

Image copyright world bank

දිළිඳුකම තුරන් කිරීම සහ ජාතික සමෘද්ධිය රට පුරා එක ලෙස ප්‍රවර්ධනය කිරීම අතින් ශ්‍රී ලංකාව ක්‍රමවත් සංවර්ධනයක් කරා පිය නඟනයුරු දැකිය හැකි මුත් රටේ දරිද්‍රතාව තුරන් කොට සමෘද්ධිමත් ආර්ථික ප්‍රතිලාභ රටේ සියලු ජන කොටස් අතර සම සේ බෙදා දීම පිණිස වුවමනා රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ආණ්ඩුව බුද්ධිමත් විය යුතු බව ලෝක බැංකු කණ්ඩායම් පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

බත්තරමුල්ල, ජනකලා කේන්ද්‍රයේ, ''අපේගම'' පරිශ්‍රයේ අද (16) එළිදැක් වූ, ශ්‍රී ලංකාවේ දුගී බව සහ සෞභාග්‍යය පිළිබඳ (Sri Lanka - Ending poverty and promoting shared prosperity : a systematic country diagnostic) නව ලෝක බැංකු කණ්ඩායමේ පර්යේෂණ වාර්තාවයි මේ බැව් හෙළි කරන්නේ.රටේ ආර්ථික වර්ධනය ඉකුත් පස් වසර පුරා 7 % ක මට්ටමේ උපරිමයක පවත්වා ගනිමින් ද ඉදිරි පස් වසර පුරා 6 % ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමෙන් ද ශ්‍රී ලංකාව දිළිඳුකම තුරන් කිරීම අතින් මෙන් ම සමෘද්ධිමත් සංවර්ධනයක් රට පුරා සමසේ පතුරුවා ලීමට උත්සාහ කිරීම අතින් කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

2002 වසරේ සිට 2013 වසර දක්වා කාලය ඇතුළත ජාතික දරිද්‍රතා දර්ශකය 22.7 % සිට 6.7 % දක්වා අඩුවීම රටේ දිළිඳු හා කම්කරු ජනතාව ගේ ආදායම් වර්ධනය වීමක් පිළිබිඹු වන බවයි වාර්තාව පෙන්වා දෙන්නේ. සමස්ත ජනගහනයේ ඒක පුද්ගල පරිභෝජනය 2.8 % ක තරම් මට්ටමක තිබිය දී රටේ පහළ ම සමාජ ස්ථරයේ ජනගහනයෙන් 40 % ක ඒක පුද්ගල පරිභෝජනය 3.3 % ක් පමණ ඉහළ මට්ටමක පැවතුණු බවත් එහි සඳහන්.

'ආඩම්බරයක්'

Image copyright RIA Novosti

අනෙකුත් සමාජ සංවර්ධන දර්ශක මෙන් ම මානව සංවර්ධන දර්ශක ගත් විට ද කලාපීය දර්ශක මට්ටමට වඩා සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතින බවත් වාර්තාවෙන් අවධාරණය කෙරුණු තවත් කරුණක්.

2009 වසරේ දී රටේ යුද්ධය නිම කළ ශ්‍රී ලංකාව දැන් ජාතීන් අතර සහජීවනය සහ ප්‍රතිසන්ධානයට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන පර්යේෂණ වාර්තාව, මානව සංවර්ධන දර්ශක ඉහළ මට්ටමක පවත්වා ගැනීම අතින් ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි තත්ත්වයක් බවයි පෙන්වා දෙන්නේ.

තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම, දරිද්‍රතාව තුරන් කිරීම, රටේ පැවැති යුද්ධය නිමා කිරීම, පසුගිය මාස කිහිපය තුළ කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කරණ හඳුන්වා දීම ද මෙහි ලා වැදගත් කාර්යයන් ලෙසයි පර්යේෂණ වාර්තාව පවසන්නේ.

රටේ දේශීය ආර්ථික සංවර්ධන රටාව වෙ‍ළෙඳ නොවන ක්ෂේත්‍ර මත පාදක වීම නිසාත්, රාජ්‍ය ආයෝජන නිසා පුළුල් වූ දේශීය ඉල්ලුම නිසාත් තිරසර ආර්ථික වර්ධනය සාර්ථක කර ගැනීම දුෂ්කර කටයුත්තක් බවයි වාර්තාවේ ඉදිරි පරිච්‍ඡේද සඳහන් කරන්නේ. රාජ්‍ය ආදායම අඩුවීම මෙන් ම බදු ආදායම අඩු මට්ටමක පැවතීමත් රාජ්‍ය මූල්‍ය මට්ටම කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති ආකාරයයි වාර්තාව අවධාරණය කරන්නේ.

පෞද්ගලික අංශ

Image copyright World bank

අත්‍යවශ්‍ය හා අනිවාර්ය සමාජ සුබ සාධන වියදම් සහ පුනරාවර්තන වියදම් සඳහා රාජ්‍ය අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කැප කිරීමට සිදුවීමත්, ඉකුත් වසරවලදී යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබා ගත් විදේශ ණය වාරික සහ පොලිය ගෙවීමට සිදුවීමත් නිසා රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ හැකි වියදම් හා ප්‍රතිපාදන සීමා කිරීමට සිදුවීම රටේ ආර්ථික කළමනාකරණය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කළ හැකි බවටයි නව ලෝක බැංකු කණ්ඩායමේ පර්යේෂණ වාර්තාව අනතුරු අඟවන්නේ.

රාජ්‍ය මූලය විනය පවත්වා ගෙන යෑම, තරගකාරී ආර්ථික සංවර්ධන සාම්‍යයක් රඳවා ගැනීම, සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ මනා කළමනාකරණය කර ගැනීම ඉදිරි මූල්‍ය ප්‍රතිසංස්කරණවල දී වැදගත් වන බවයි වාර්තාවේ තව දුරටත් සඳහන් වන්නේ.

පසුගිය දශක දෙකක පමණ කාලය පුරා පැවැති සෑම ආණ්ඩුවක් ම කුඩා හා මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා හිතකර ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබුණ ද එවන් ව්‍යවසායකයනට වුවමනා ණය පහසුකම් හා තාක්ෂණික මෙවලම් ආදිය සපයා ගැනීමේ දී දැඩි සීමා කිරීම්වලට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය කඩිනමින් මඟහරවා ගත යුතු බවයි වාර්තාවෙන් අවධාරණය කෙරෙන්නේ.