සංඛ, රනිල් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Image copyright FMM
Image caption 'අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු එයට පාදක වූ ප්‍රකාශය කළ මාධ්‍යවේදී සංඛ අමරජිත් වැඩ තහනමට ලක් වීම සැකයට තුඩු දෙන්නක් වන අතර එය සුලු කොට තැකිය හැකි දෙයක් නොවේ'

නිදහස් දිනය වෙනුවෙන් පැවති සංස්කෘතික උළෙලේදී ඔපෙරා තාලයට 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයූ ගායිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේ 'නිවේදකයකු' විසින් බැළලියක ලෙස හඳුන්වනු ලැබීම හෙලා දකිමින් අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එක් ආයතනයක් ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විද්‍යුත් මාධ්‍ය ආයතන බිය ගන්වන සුළු ප්‍රකාශයක් සිදු කොට ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

''අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පසු එයට පාදක වූ ප්‍රකාශය කළ මාධ්‍යවේදී සංඛ අමරජිත් වැඩ තහනමට ලක් වීම සැකයට තුඩු දෙන්නක් වන අතර එය සුලු කොට තැකිය හැකි දෙයක් නොවේ''

ඉහත කී රූපවාහිනී නාලිකාවේ නිවේදකයකු විසින් කළ එම ප්‍රකාශය තම සංවිධානය අනුමත නොකරන නමුත් ජනමාධ්‍යය ප්‍රමිතීන් ඉහළ තලයකට ගෙන ඒම සඳහා මැදිහත් විය යුත්තේ අගමැතිවරයා නොව මාධ්‍යය ප්‍රජාව බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියේය.

'කළ යුත්තේ එක් සිදුවීමක් හෝ එක් නාලිකාවක් හෝ එක් පුවත්පතක් හෝ ඉලක්ක කොට ගෙන බැන වැදීම හෝ තර්ජනය කිරීම නොව මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡා කොට එය විසඳා ගැනීමට කටයුතු කිරීම' නිවේදනයේ සඳහන්.

ස්වයං වාරණයක්

කාන්තාවන්ට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් කළ රූපවාහිනී ආයතනයට බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන බවට කළ අනතුරු හැඟවීම මාධ්‍යය ආයතනවලට ස්වයං වාරණයක් කර ගැනීමට කළ බලපෑමක් ලෙස සැලකිය හැකි බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පැවසීය.

''එවැනි සිදුවීම්වලින් වන්නේ පසුගිය පාලන කාලයේ 'ජාතික ආරක්‍ෂාව, ත‍්‍රස්තවාදය' මුවාවෙන් දැඩි මාධ්‍ය මර්දනයක් දියත් කළා සේ, නව රජයත් 'අයිතිවාසිකම්වලට' මුවා වී විරුද්ධ මත දරන මාධ්‍ය මර්දනය කරන්නට උත්සාහ ගන්නා බවට චෝදනාවන්ට ලක් වීමයි''

'සීමිත මහජන සම්පතක් වන විද්‍යුත් තරංග මාලා ලබා දීම සිදු වී ඇත්තේ කිසිඳු ප්‍රමිතියකින්, විනිවිදභාවයකින් තොරව බලයේ සිටි දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත බව සත්‍යයක් වන බවත්' නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනයේ සඳහන් කොට ඇත.

විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් මාධ්‍ය ප්‍රජාව අතුරින් බිහි නොවීම අඩුපාඩුවක් යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

'මෙම ගැටලු විසඳා ගැනීම හා මාධ්‍ය නිදහසට බාධාකාරී අණ පනත් ඉවත් කර ගැනීම ආදී කරුණු වෙනුවෙන් කටයුතු කිරීමට ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ඉල්ලා ඇති අතර එසේ කරන බවට පොරොන්දුවක් දී ඇති බවත්' එම නිවේදනයේ දැක්වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර